ලොරියක් පෙරලීයාමෙන් 4 දෙනෙක් ජීවිතක්ෂයට
බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිඳ වංගුව අසලදී ඊයේ (5) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරළී යෑමෙන් සිව්දෙනකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ කොන්ත්‍රාත් සමාගමක අයිතිකරුවකු වන මොනරාගල හුලංදාව පිළිසරණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි නීල් කුමාර රත්නායක (64), මොනරාගල කච්චේරිය හන්දියේ එම්.ඩී. ජයසිංහ (70), මොනරාගල වැල්ලවාය පාර වෙල්ලච්චිකඩේ පදිංචිව සිටි තිලක් ගුණවර්ධන (35) සහ මොනරාගල හොරොම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂාන්ත ලක්මාල් (35) යන සිව් දෙනාය. අනතුරින් බරපතළ තුවාල ලැබූ බිබිල මැදගම ප්‍රදේශයේ යුද හමුදා සෙබළෙක් සහ තවත් දෙදෙනෙක් බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් යටතේ බස්රථ නැවතු ඉදිකිරීමක නියුතු මේ සේවක පිරිස රැගත් ලොරි රථය ඊයේ (5) උදෑසන මොනරාගල සිට බදුල්ලට පැමිණ, බදුල්ල තැන්නපංගුව ප්‍රදේශයේ බස්රථ නැවතුම්පොළක් සවි කිරීමට ගොස් මාර්ග අපහසුතාව නිසා ආපසු හරවාගෙන මොනරාගල යෑමට බදුල්ල නගරයට එන අතරතුරේදී මාර්ගය හරහා පෙරළී යෑමෙන් මේ අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය. අනතුර සිදු වන අවස්ථාවේ ලොරිය සමාගමේ අයිතිකරු විසින් පදවාගෙන පැමිණ ඇති බවත්, අයිතිකරු සමඟ ලොරිය තුළ සේවකයන් හය දෙනකු සිට ඇති බවත් අනාවරණය වී ඇත.
අනතුරට පත් වීමත් සමඟ ලොරිය පසුපස යතුරුපැදියක පැමිණි එම සමාගමේ තවත් සේවකයන් දෙදෙනකු වහා අනතුරට පත් ලොරිය අසලට ගොස් අසල්වාසීන්ගේ සහාය ඇතිව ලොරිය තුළ සිර වී සිටි පිරිස පිටතට ගෙන ත්‍රිරෝද රථයක සහ ලොරියක පටවාගෙන බදුල්ල ශික්ෂණ රෝහල වෙත ගෙන ඇත. බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් තුවාලකරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහත් උත්සහයක් ගත්හ.
ලොරිය පිටුපසින් යතුරුපැදියක පැමිණි කොන්ත්‍රාත් සමාගමේ සේවකයකු වන කුඹුක්කන හොරොම්බුව පේරමංඩිය ප්‍රදේශයේ පදිංචි එච්.එම්. ආනන්ද (43) සිද්ධිය විස්තර කළේ මේ අයුරිනි:
“අපි උදේ 8.30ට විතර මොනරාගල ඉඳන් ලොරියේ බදුල්ල ආවා. අපි වැඩ කරන්නේ මේ කොන්ත්‍රාත් සමාගමේ නීල් කුමාර රත්නායක මහත්තයා ළඟ. අපි කොන්ත්‍රාත් ක්‍රමයට බස් රථ නැවතුම්පොළවල් හදනවා. අපි උදේ බදුල්ල නගරයට ඇවිත් දුම්රියපොළ පාරේ බස් රථ නැවතුම්පොළක් හදන්න ගියා. අපි යනකොට ඒක හදලා. පසුව අයිතිකාර නීල් මහත්තයා කිවුවා ‘බලන්න, ඒ වැඩේ කරලා. අපිට එක්කෝ කලින් කියන්න ඕනි’ කියලා. පස්සේ ‘බදුල්ල තැන්නපංගුව පාරෙ වැඩක් තියෙනවා. ඒක බලන්න යමු’ කියලා ගියා. මම තව කෙනෙක් එක්ක යතුරුපැදියක ගියේ. අපි දෙන්නාට කලින් එම තැනට යන්න කිවුවා. මහත්තයා ලොරිය පදවාගෙන අනිත් අය එක්ක ආවා. පස්සෙ මහත්තයා ටික දුරක් ගිහින් මේ පාරේ ලොරිය යන්න අමාරුයි. කන්ද සැර වැඩී. අපි හරවාගෙන යමු’ කියලා ලොරිය හරවාගෙන ආයෙත් බදුල්ල නගරයට එන්න ආවා. මමම අනිත් කෙනා එක්ක ලොරිය පිටුපසින් යතුරුපැදිය පදවාගෙන ආවා. කිලෝමීටරයක් විතර දුර යනකොට ලොරිය මාර්ගය පුරා හැම තැනම පල්ලමේ වේගයෙන් යනවා දැක්කා.අපටත් හිතාගන්න බැරි වුණා. ඒ එක්කම පල්ලමේ වේගයෙන් ගිය ලොරිය වංගුව ළඟදී පාර හරහා පෙරළිලා ගියා. මම යතුරුපැදිය නවත්තලා අනිත් එක්කෙනා එක්ක ගිහින් අසල්වාසීන්ගේ උදවුවෙන් ලොරියෙ දොරවල් කඩලා හිර වෙලා හිටපු අය උඩට අරන් ත්‍රීවීල් එකකයි වෙනත් ලොරියකයි දාගෙන බදුල්ල ඉස්පිරිතාලෙට යැවුවා. මොනාවත් හිතාගන්න බැහැ.”
අනතුරින් ලොරි රථයට දැඩි ලෙස අලාභහානි වී තිබේ. තුවාලකරුවන්ගේ තත්ත්වයද බරපතළ බව රෝහලේ ආරංචි මාර්ග කීය.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර මහත්වරුන්ගේ උපදෙස් මත, බදුල්ල මූලස්ථාන (ප්‍ර.පො.ප) ටී.එම්. රත්නායක රථ වාහන අංශයේ ස්ථානාධිපති (උ.පො.ප) ඒ.වී. අනුර, (පො.සැ) 54138 පීරිස්, 43056 වික්‍රමරත්න, 44355 රාජේස්වරන්, 54138 සුජිත් මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
@දිනමිණ