ලෝක ශූරයින් පිලිගැනීමේදී තෙරපී 10ක් රෝහල්ගත කෙරේ
විස්සයි20 ලෝක කුසලානය දිනා සිය රටට පැමිණි ඉන්දීය කණ්ඩායම පිළිගැනීමේ උත්සව මාලාව නවදිල්ලි හා මුම්බායි නගරවලදී පැය 16ක් පුරා පැවැත්වෙයි. 2007 වසරේ පළමු විස්සයි20 ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායම දෙවැනි වරටත් එම කුසලානය දිනා ආපසු පැමිණීම ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට විශාල ආශ්වාදයක් වූ බැවින් දිල්ලි ගුවන්තොටුපොළේ සිට මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණය දක්වා ලක්ෂ ගණනින් ජනතාව රැස්ව සිටියහ.
වසර 17ක් පුරා විස්සයි20 ලෝක කුසලානය දෙස බලා සිටි ඉන්දීය ක්‍රීඩාලෝලීන් තම ප්‍රියතම තරු පිළිගැනීමට දිල්ලි සිට මුම්බායි දක්වා වීදි බැස සිටියහ. මුම්බායි මැරීන් ඩ්‍රයිව් සිට වන්කඩේ ක්‍රීඩාංගණය දක්වා විවෘත බස් රථයකින් ඉන්දීය පිල පැමිණි අතර, වර්ෂාව මැද පැය 6ක් ක්‍රීඩාලෝලීන්ට බලා සිටීමට සිදු විය. මුම්බායි ජයග්‍රාහී පෙළපාළිය පැය 2ක් පැවති අතර, ලක්ෂ 3කට අධික පිරිසක් සිටි බව විදෙස් වාර්තා සඳහන් කළේය.
අධික පිරිසක් රැස්ව සිටි හෙයින් ක්‍රීඩාලෝලීන් තදබදයට ලක්වී අපහසුතා ඇති වූ බව ඉන්දීය වාර්තා සඳහන් කළේය. ඇතැමුන්ට තුවාල ද සිදු විය. මුම්බායි පොලිසිය පැවසුවේ රසිකයන් 10ක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකුගෙන් එක් අයෙක්ගේ අස්ථි බිඳීමක් හා අනෙක් පුද්ගලයා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළී ඇත.
වන්කඩේ පිටියේ පැවති පිළිගැනීමේ උත්සවයේදී ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පැවසුවේ “මේ කොල්ලෝ කරලා තියෙන්නේ ඇදහිය නොහැකි දෙයක්. වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ඔවුන් තුළ තිබුණා. මට මේ ආදරය ඉදිරියේදී මඟ හැරේවි” යනුවෙනි.
“ඔබ සැමට ස්තූතියි. අපි ඉන්දියාවට පැමිණි වේලාවේ සිට අපූරු පිළිගැනීමක් තිබුණා. මේ කුසලානය මුළු රටටම අයිති එකක්” හර්දික් පාණ්ඩ්‍යාගේ පන්දු යැවීම අගය කළ රෝහිත් ෂර්මා ඔහුට ආචාර කරන ලෙස ඉල්ලීමක් ද කළේය. ඒ සමඟම ජනතාව ‘හර්දික්.. හර්දික්’ ලෙස මහ හඬින් සටන් පාඨ කීහ.
ජස්ප්‍රිත් බුම්රා පැවසුවේ කිසිම ක්‍රිකට් තරගයකින් පසු තමන් කඳුළු සලා නැති වුවද මේ ජයග්රහණයෙන් පසු තම ඇස්වලින් දෙතුන් වතාවක් කඳුළු ආ බවය.
“රෝහිත් පඩිපෙළ මත සිටින විට මගේ සහ ඔහුගේ ඇස්වල කඳුළු ආවා. ඔහු මෙතරම් හැඟීම්බරව සිටිනු මා දුටු පළමු අවස්ථාවයි. අපි 2011 ලෝක කුසලානය දිනන විට සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හැඟීම්බර වූවා” විරාත් කෝලි පැවසීය.