Latestදේශීය

පොහොට්ටු වක් නැහැ තියෙන්නේ රනිල්ගේ පූට්ටුවක් – විමල් වීරවංශ

‘විමල් වීරවංශ ඔය කොහෙවත් යන්නේ නැහැ. මේ සටනේදී විමල් වීරවංශ ඉන්න එකම වේදිකාව, සර්වජන බලය වේදිකාව පමණයි’ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ගාල්ල නගර සභා පරිශ්‍රයේ පැවැති සර්වජන බලය ගාල්ල මහජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

දැන් ‘පොහොට්ටුව’ කියලා එකක් නැහැනේ. ඒක දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ‘පූට්ටුව’ බවට පත්වෙලා තිබෙනවා. එයාලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කරවලා 69 ලක්ෂයේ ජනවරමට පහරපු කට්ටියක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා 69 ලක්ෂයේ ජනවරමට පටහැනි ගමනක් යනකොට පොහොට්ටුවේ කට්ටිය ඒකට රුකුල් දෙනවා. මම දැක්කා, ‘පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු දානවා නම් විමල් වීරවංශත් අපිත් එක්ක එනවා’ කියලා කවුද කියනවා. ‘බුදු අම්මේ! විමල් වීරවංශ ඔය කොහෙවත් යන්නේ නැහැ. මේ සටනේදී විමල් වීරවංශ ඉන්න එකම වේදිකාව, සර්වජන බලය වේදිකාව පමණයි. එවැනි දේ කියන බැසිල් රාජපක්ෂගේ පඟරනැට්ටන්ට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ.

ලිංගික සංක්‍රාන්ති පනතක්!

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා කිව්වා, තමන්ට බැරි ගැහැණියක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගැහැණියෙක් කරන එකයි විතරයි, කියලා. එයාගේ බෑණා රනිල් විධායක ජනාධිපති වෙලා ඒකත් කරන්න යනවා. දැන් බලන්න, එයා ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් ලිංගික සංක්‍රාන්තිකයන් පිළිබඳ පනතක් ගෙනෙන්න කටයුතු කළාම ඒ පනතට විරුද්ධව භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් අධිකරණය හමුවට යනවා. ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කියනවා, ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිටින්නේ ගැහැණිය සහ පිරිමියා පමණයි. සංක්‍රාන්ති ලිංගිකයකු ගැන කියැවෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි පනතක් ගෙන එනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි’ කියලා.

මේ තීන්දුව ආවාම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කරමින් කතා කළා. වෙන දේකට මෙහෙම තීන්දුවක් ආවා නම් රනිල් වික්‍රමසිංහ මෙච්චර කලබල වෙන්නේ නැහැ. මෙයා මේක කොහොම හරි කරන්නයි හදන්නේ. සමහර යුරෝපා රටවල් තිබෙනවා, දෙමාපියන්ගේ අවසරයෙන් තොරව අවුරුදු 14ක පිරිමි දරුවන්ගෙන් අහනවා, ‘ඔබ ගැහැණියක වීමට කැමතිද?’ කියා. මේ විදිහට හොඳට ඉන්න කොල්ලා ස්ත්‍රී හෝමෝන එන්නත් මගින් කෙල්ලෙක් කරනවා. අපේ රටෙත් ඒ වැඩේ කරන්නයි රනිල් වික්‍රමසිංහ මේ පනත ගෙන එන්නේ. මෙන්න ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ සිදුවන දේවල්. අර්බුදය ඇතුළේ අණපනත් ගෙනල්ලා, සාමාන්‍ය කාලයකදී කරගන්න බැරි වුණු හැම තුච්ඡ, පාහර වැඩක්ම කරගන්නයි රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ.

ස්වදේශිකයා බලගන්වන එකම වේදිකාව!

දැන් බලන්න, ආර්ථික පරිවර්තන පනතින් ඕනෑම විදේශිකයෙකුට මේ රටේ කර්මාන්තයක්, ව්‍යාපාරයක් කරන්න ස්වදේශිකයාට තිබෙන ඉඩකඩම ලැබෙනවා. එතකොට ස්වදේශිකයා අතේ තිබෙන ව්‍යාපාරත් විදේශිකයා අතට මාරු වෙනවා. අන්තිමේදී ස්වදේශිකයා තමන් උපන් රටේ වහලෙකු බවට පත්වෙනවා. ස්වදේශිකයා බලගැන්වීමෙන් තොරව මේ අර්බුදයෙන් ගොඩඒමට බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සකල ස්වදේශික ජනතාව බලගැන්වීමෙන් තොරව මේ අර්බුදයෙන් එළියට එන්න අපට බැහැ. ස්වදේශික ජනතාව බලගැන්වීමෙන් මේ අර්බුදයෙන් ගොඩඒම, තම මාවත කරගත්තු එකම දේශපාලන වේදිකාව සර්වජන බලය වේදිකාවයි. ඒ වගේම අනාගත ජනාධිපතිවරණ, මහ මැතිවරණ ජයගැනීමට ජනවරම ගොඩනඟන වේදිකාව වන්නේ ද සර්වජන බලය වේදිකාවයි. වමේ වේදිකාව, ‘දැහිතකාමී ජනතාවගේ – ස්වදේශිකයාගේ’ වේදිකාව මෙයයි. ඒ නිසා මේ වේදිකාව බලගන්වන්න. ඒ මගින් මේ රට නිදහස් කරගන්න ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා!”

මෙම මහජන රැලිය අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභික, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුවේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික, යාපන දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික නීතිඥ ඒ. ඩබ්ලිව්. එස්. අමීන්, ජාතික නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්, කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් නායිකා කාන්ති ලංකා යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *