Latestදේශීය

ජනාධිපතිවරණය කල්දැමීමේ අවධානම තවමත් පහව ගිහින් නැහැ – උදය ගම්මන්පිල

ජනාධිපතිවරණය කල් දැමීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

හරියටම දවස් හයකින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිසමට ලැබෙනවා. නමුත් ජනාධිපතිවරණය පවත්වා වී ද කියන දෙගිඩියාවක් අදටත් තිබෙනවා. ජනාධිපතිතුමා කෙතරම් සහතික දුන්නත් ඒ සැකය නැති වෙලා නෑ. ඒකට හේතු හතරක් බලපානවා. පළමු හේතුව තමයි ජනාධිපතිගේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ජනමත විචාරණයක් හරහා ජනපතිවරණය වසර දෙකකට කල් දාන්න යෝජනා කිරීම. දෙවන හේතුව තමයි ජනාධිපතිතුමාගේ පක්ෂයේ සභාපතිතුමා නිරතුරුවම ජනාධිපතිතුමාට වසර දහයකට රට භාර දීමට යෝජනා කිරීම. තුන්වන හේතුව තමයි ජනාධිපතිතුමාගේ පක්ෂයට මැතිවරණ කල් දැමීමේ නරක ඉතිහාසයක් තිබීම. 1982 දී ලාම්පු – කළගෙඩි සෙල්ලමින් පාර්ලිමේන්තු මැතිවරණය අවුුරුදු හයකට කල් දැම්මා. 2015 දී පුංචි ඡන්දය අවුරුදු දෙකකට කල් දැම්මා. 2018 දී පලාත් සභා ඡන්දය අතුරුදහන් කලා. 2022 දී පුංචි ඡන්දය අතුරුදහන් කලා. මෙන්න මේ හේතු මත ජනතාවට ඇති වෙලා තිබෙන්නේ සාධාරණ බියක්.

හතරවන හේතුව තමයි ජනාධිපතිවරණ කටේ ජනමත විමසුමකට යොමු කළ යුතු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇමති මණ්ඩලය විසින් අනුමත කිරීම. ඇත්තෙන්ම ඒක අනවශ්‍ය සංශෝධනයක්. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී හරි නම් එදා 83(ආ) වගන්තියේ හය වසරක් ඉක්මවා කියන යෙදුම පස් වසරක් ඉක්මවා කියලා සංශෝධනය කරන්න ඕනි. 83(ආ) වගන්තිය සංශෝධනය කරන්න කටයුතු නොකලේ ඒකට ජනමත විචාරණයක දී ජනතාවගේ අනුමැතිය ලබා ගන්න ඕනි. නමුත් සංශෝධනය නොකලා කියලා කිසිම හානියක් වෙන්නේ නෑ. අපි එහෙම කියන්නේ ඇයි?

පසුගිය ඇමති මණ්ඩල රැස්වීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තියේ “වසර හයක් ඉක්මවා” කියන වචන වෙනුවට “වසර පහක් ඉක්මවා” කියා වෙනස් කරන්න 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන්න තීරණය කරලා තිබෙනවා. මේක විකාරයක්. රටේ තිබෙන ව්‍යාකූලත්වය නැති කළ හැක්කේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් මිස මේ වගේ විකාර කිරීමෙන් නොවේ. ඒ විතරක් නොවේ. මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරණ කටේ රට ජනමත විචාරණයකට තල්ලු කිරීමක් සිදු වෙනවා. ඒ ගැන ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු ඉන්න ඇමති මණ්ඩලයට අවබෝධයක් නොතිබුණු එක පුදුමයි.

19 වන සංශෝධනය හරහා ජනාධිපතිගේ ධූර කාලය වසර හයේ සිට වසර පහක් දක්වා අඩු කරන විට ධූර කාලය දක්වන 30(2) වගන්තියේත් ඒ සංශෝධනය කළා. 83(ආ) වගන්තියෙන් කියන්නේ ජනාධිපතිගේ ධූර කාලය ඉක්මවා බලයේ ඉන්න ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. එතැන කියනවා වසර හයක් ඉක්මවා ජනාධිපති ධූර කාලය දිගු කරන්න පනතක් ගේනවා නම් පාර්ලිමේන්තුවේ දී තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත කරනවාට අමතරව ජනමත විමසුමක දී ජනතාව විසින් අනුමත කළ යුතුයි.

19 වන සංශෝධනයේ දී මේක වසර පහක් ඉක්මවා කියලා සංශෝධනය කළ යුතුව තිබුණා. සංශෝධනය නොකලේ හේතුවක් ඇතිව. 83 වගන්තියට අනුව ඒ වගන්තිය සංශෝධනය කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතුයි. මේ වියදම්කාරි ජනමත විචාරණය මග හරින්න ඕනෑ නිසා තමයි 19 වන සංශෝධනයේ දී 83(ආ) සංශෝධනය නොකලේ. හැබැයි ඒකෙන් විධිවිධාන වලට කිසිම හානියක් වුණේ නෑ. මොකද ජනාධිපතිගේ ධූර කාලය දැක්වෙන 30(2) වගන්තිය දැනටමත් සංශෝධනය කරලා වසර හය වසර පහ දක්වා අඩු කරලා තිබෙන නිසා. 83 වගන්තියේ කියන්නේ 30(2) වගන්තියට පටහැනි පනතක් හෝ වසර හයක් ඉක්මවා ධූර කාලය දිගු කරන පනතක් ගේනවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනතාවගේ අනුමැතියත් ගන්න ඕනි කියලා.

වසර හය ඉක්මවා කියන වචනයේ එල්ලිලා තමයි ලේනෙක් උසාවි ගිහින් තර්ක කලේ ජනමත විමසුමක් නැතිව තුනෙන් දෙකේ බහුතරය විතරක් අරන් වසර හය දක්වා ජනාධිපතිට බලයේ ඉන්න පුළුවන් කියලා. නමුත් ඔහු හරියට ව්‍යවස්ථාව කියවා නෑ. ජනාධිපතිගේ ධූර කාලය තිබෙන්නේ 30(2) වගන්තියේ. ඒක සංශෝධනය කරන්න ජනමත විචාරණයකට යන්න ඕනි කියලා ඉතාම පැහැදිලිව 83(2) වගන්තියේ සඳහන් වෙනවා. එහෙම නම් ඔය “වසර හය ඉක්මවා” කියන යෙදුම ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත් කළත් නැතත් වසර පහ ඉක්මවා ජනාධිපතිට ධූරයේ ඉන්න බෑ. ඒක මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයත් තුන් පාරක්ම තහවුරු කරලා තිබෙනවා. එහෙම නම් ජනාධිපතිවරණය මැද ජනමත විමසුමකට පාර කපලා ආණ්ඩුව ඉටු කර ගන්න හදන්නේ මොකක්ද කියන එක මේ විවාදය තුල කවුරු හරි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කෙනෙක් රටට කියන්න ඕනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනපතිවරණය ගැන මොකද කියන්නේ

වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි මාසයකට නොඅඩු කාලය තුල අනිවාර්රයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 31(3) වගන්තියේ කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.

ඒ අනුව 2024 නොවැම්බර් 18ට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි දිනයක ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. මාසයකට නොඅඩු නම් ඔක්තෝම්බර් 18ට කලින් ඡන්දය තියන්න ඕනි. ඒ වගේම මාස දෙකකට නොවැඩි නම් සැප්තැම්බර් 18ට පස්සෙයි ඡන්දය තියන්න ඕනි. අන්න ඒ නිසා තමයි ඉතාම විශ්වාසයෙන් ඡන්දය පවත්වන දිනය 2024 සැප් 18 සහ ඔක් 18 දිනයන් අතර දී යෙදෙනවා කියා අපි කියන්නේ.

1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනෑ. එහෙම නම් ආසන්නතම දවස බලන්න සැප්තැම්බර් 18 සිට සති හයක් කියන්නේ අගෝස්තු 7 වන දා. නාමයෝජනා සඳහා දුරම දිනය වෙන්නේ ඔක්තෝම්බර් 18 සිට සති හතරක් ආ පස්සට ගණනය කළාම එන සැප්තැම්බර් 20දා.

ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16කට නොඅඩු දින 21කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනෑ. දැන් අපි දන්නවා නාමයෝජනා දිනය විය හැකි ආසන්නතම දිනය අගෝස්තු 7 වන දා. එදා ඉඳන් දින 21ක් ගණනය කලොත් ජූලි 17. දුරම දිනය වන සැප්තැම්බර් 20දා සිට දින 16ක් ගණනය කලොත්. සැප්තැම්බර් 4 දා. ඒ කියන්නේ 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බලය දීලා තිබෙනවා.

ජූලි 17 සිට සැප්තැම්බර් 4 කියන්නේ විශාල පරාසයක්. ඒ නිසා ජනතාව අතර එජාපය හදපු මේ දෙගිඩියාව නැති කරන්න නම් මේ පරාසයේ මුල් සති දෙක ඇතුලත මැතිවරණයේ නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසම කටයුතු කරාවි කියලා අපි විශ්වාස කරනවා.

@ Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *