උසාවියට අපහාස කර නීතිඥභාවය අත්හිටවූ පුද්ගලයා බන්ධනාගාරයට
(නෙල්කා මැදගෙදර)
වෘත්තීය ආචාරධර්ම කඩ කළ බවට තමාට එරෙහිව විභාග වන නඩුවකට අදාළව අධිකරණයට අපහාසාත්මක වන කරුණු ඇතුළත් ලේඛන ඉදිරිපත් කළ නීතිඥභාවය අත්හිටුවා ඇති පුද්ගලයකු වහාම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) නියෝග කළේය.
අභියාචනාධිකරණ ලේඛනාගාරයට ඇතුළු වී එහි තිබූ නඩු ගොනුවක් අනවසරයෙන් ගෙන එහි තිබූ ලේඛනයක් විනාශ කිරීම මඟින් නීතිඥභාවයේ වෘත්තීය ආචාරධර්ම කඩ කර ඇති බවට චෝදනා ලැබ සිටින මීට පෙර නීතිඥභාවය අධිකරණය මඟින් අත්හිටුවනු ලැබ සිටින ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැත්තකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍රයක් සකස් කර කඩිනමින් ගොනු කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කෙරිණ.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම අගෝස්තු මස 28 වැනිදා සිදු කිරීමට නියම කෙරිණ.
අදාළ ලේඛන විනාශ කිරීමේ සිද්ධිය මඟින් ඔහුට එරෙහිව වෘත්තීය ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගයන් කෙරිණ.
එම නඩුවට අදාළව ඔහු විසින් ඉදිරිපත් කළ ලේඛන සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ කුමරුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව ඊයේ කැඳවනු ලැබිණි.
නීතිඥභාවය අත්හිටුවා සිටින විත්තිකරු විසින් එම නඩුවට අදාළව දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.
ඒවායෙහි අධිකරණය විවේචනය කරමින් සහ අධිකරණයට අපහාසාත්මක වන ආකාරයේ කරුණු ඇතුළත් කර ඇති බවට අධිකරණය මඟින් අවධානය එහිදී යොමු කෙරිණ.
අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් සහ අධිකරණය විවේචනය කරන කරුණු ඇතුළත් කර මෙම දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන ඉදිරිපත් කර ඇති බව නිරීක්ෂණය කළ විනිසුරු මඬුල්ල සඳහන් කළේ මෙවැනි ලේඛන ඉදිරිපත් කිරීම අධිකරණයේ අභිමානයට ගැටලුවක් වන බවය.
එහිදී විනිසුරු මඬුල්ලේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා සඳහන් කර සිටියේ අධිකරණයේ මෙවැනි කටයුතු සිදු කිරීම මඟින් විත්තිකරු අධිකරණයේ අභිමානයට හානියක් සිදු කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගත යුතු බව ද විනිසුරුවරයා එහිදී සඳහන් කළේය.
ඒ අනුව බැලූ බැල්මට එම ලේඛන ඉදිරිපත් කිරීම මඟින් විත්තිකරු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බැවින් ඊළඟ නඩු දිනය තෙක් ඔහු වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු මඬුල්ල නියම කළේය.
අභියාචනාධිකරණ ලේඛනාගාරයේ තිබූ නඩු ගොනුවක ලේඛනයක් අනවසරයෙන් ලබාගෙන විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් පැමිණිල්ලක් ගොනුකර තිබිණි.
ඒ අනුව ඊට අදාළ අපරාධ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
නීතිඥවරයකු ලෙස කටයුතු කළ මෙම පුද්ගලයා අදාළ ක්‍රියාව මඟින් නීතිඥ වෘත්තියේ ආචාරධර්ම කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් නඩුවක් ගොනුකර තිබිණි.
එම නඩුව මීට පෙර විභාගයට ගත් අවස්ථාවේදී මෙම පුද්ගලයාගේ නීතිඥභාවය අදාළ නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විභාග කටයුතු සිදු කිරීම සඳහා එම නඩුව නැවත ඊයේ කැඳවා තිබිණි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
@දිනමිණ