බංග්ලාදේශ ශිෂ්‍ය අරගලයේ ජයග්‍රහණය!
(චන්දන සිරිමල්වත්ත)
දින ගණනාවක් සටන්කාමිත්වයෙන්, මර්දනයෙන්, ඝාතනයෙන් හා ලේවැගිරීම් මැද ඇවිළ ගිය බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලයෙන් ජයග්‍රහණයක් අත්පත් කරගත් බව වාර්තා විය.
බංග්ලාදේශයේ දේශපාලන ඉතිහාසය යනු විවිධ කැලඹිලි හා අරගලවලින් ගහන එකකි. 1947 ඉන්දියාව යටත්විජිතභාවයෙන් මිදෙන විට පාකිස්තානයේ කොටසක් ලෙස(බටහිර පාකිස්තානය) වෙන් වූ නමුත් 1971 නිදහස් අරගලයකින් වෙනම රාජ්‍යයක් ලෙස බංග්ලාදේශය බිහි විය.
වසර 15ක් පමණ ෂේක් හසීනාගේ අවාමි ලීගයේ පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කර, නවලිබරල් ආර්ථිකයේ පීඩාව ජනතාව මත පටවා ඇත. ඇඟලුම් නිෂ්පාදනයේදී ප්‍රමුඛයකු ලෙස ලක්ෂ 40ක පමණ ශ්‍රම බලකායක් යොදවා ඇති එරට පසුගිය කාලයේ ලංකාවෙන් බැහැරවන ආයෝජකයන් ආකර්ෂෙණය කළේය. රැකියා විරහිත ලක්ෂ 180ක් පමණ තරුණ ප්‍රජාවගෙන් සමන්විත අඩු වැටුප් ශ්‍රමිකයන් බහුලකම නිසා ප්‍රාග්ධනයේ පාරාදීසයක්ව ඇති බංගලාදේශය වැඩකරන ජනතාවගේ පීඩාව ඉහළම තත්වයට පත්ව ඇති රටකි.
මේ තත්වය තුළ රජයේ රැකියා අවස්ථාවලින් 30%ක් පමණ 1971 නිදහස් අරගලයට සම්බන්ධ වූ පවුල්වලට හිමිකර දෙන අසාධාරණ තත්වයට එරෙහිව විරෝධය කැකෑරෙමින් පැවතුණි. අප පුදුම විය යුත්තේ පාකිස්තානයෙන් වෙන් වී ගිය එම කාලයේ සිට පැවති එම අයුක්ති සහගත රැකියා කෝටා ක්‍රමකයක් පවත්වා ගෙන යන රටක මෙවැනි අරගලයක් පැන නොනැගුණොත්ය.
විශාල ශිෂ්‍ය පිරිසක් විශේෂයෙන්ම ශිෂ්‍යාවන් අරගලයේ සටන්කාමී භූමිකාවන්ට පණ පෙවු බංග්ලාදේශ ශිෂ්‍ය අරගලයද කලාපීය ශිෂ්‍ය ව්‍යාපාරයේ වාම දේශපාලන අත්දැකීම් උකහාගත් සහ පෙරලා නව වාම ව්‍යාපාරයන්ට අත්දැකීම් සමුදායක් අත්කර දුන් අවස්ථාවක් විය. ඉන්දිය ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම ලංකාවේ ශිෂය ව්‍යාපාරය ජයග්‍රාහී අරගලවලින් කලාපීය වාම දේශපාලන පැන නැගීම් ශක්තිමත් කර ඇති පසුබිමක බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලයේ මෙම ජයග්‍රහණය නව සන්ධිස්ථානයකි. එය සම්පූර්ණ ජයග්‍රහණයක් නොවන බව ඇත්තක් වුවද කෝටා ක්‍රමයේ විරෝධයට හේතු වූ 30%ක කොටස 7%ක් දක්වා පහත හෙළන්නට තීන්දු කර ඇත. එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශිෂ්‍ය විරෝධතාවලට තුඩු දුන් කෝටා ක්‍රමය මෙසේ අඩු කර රජයේ රැකියා වලින් 93%ක් කුසලතා මත වෙන් කරන ලෙස නියෝග කර තිබේ.
මෙම අරගලයේදී ජනමාධ්‍ය නිහඩ කරමින් සමාජ මාධ්‍ය අවහිර කරමින් බංග්ලාදේශ ආණ්ඩුව ගෙන ගිය ජනතා විරෝධී මර්දනය සම්බන්ධව දැඩි විරෝධයක් පැන නැගී ඇත.
අරගලයේදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ බවද සත්‍යයකි. අවාමි ලීගයට පක්ෂපාති ශිෂ්‍ය හා තරුණ කණ්ඩායම් අරගලකරුවන්ට පහර දෙන අවස්ථාවල ප්‍රතිප්‍රහාර පිණිස ශිෂ්‍ය ක්‍රියාකාරිකයෝ මුගුරු ඔසවා ගත්හ. ඇතැම් ස්ථානවල පැවති ප්‍රචණ්ඩත්වයට මුවාවෙන් ඇඳිරි නීතිය පනවා පොලිසියට අමතරව සන්නද්ධ හමුදා යොදමින් කෘර මර්දනයක් කැඳවන්නට බංග්ලාදේශ ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සිය ගණනක් මරණයට පත්වූ අතර මර්දන යන්ත්‍රයේ සාමාජිකයන්ද ප්‍රතිප්‍රහාරවලින් මරණයට පත් විය.
නුදුරු දිනයකදී මෙම අරගලයට අසවල් තානාපති කාර්යාලයෙන් සහයෝගය දැක්වූ බවට චෝදනා නැගීමේ ඉඩක් ඇත. ඇතැම් විට දේශපාලන අරගලවලට සහාය දක්වමින් දේශපාලනයේ අරමුණු ජය ගන්නට විදේශ තානාපති කාර්යාල මැදිහත්වන බව සත්‍යයකි. එහෙත් ජනතා අරගලයක යුක්තියුක්තභාවය හා අරගලකරුවන්ගේ ශ්‍රේෂ්ඨත්වය, එම ජයග්‍රහණවල අවශ්‍යතාව එයින්ම නිශේධනය වන්නේ නැත.
ඉන්දිය රජයට ගැතිකම් කරන ෂේක් හසීනාගේ පාලනය, ජනතා නැගිටීම් වළක්වන්නට තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර ගනු ඇති නමුත් අරගලයේ ජයග්‍රහණයෙන් පිබිදී සිටන සමාජයක දිගුකාලීන, ස්ථිර ජයග්‍රහණ උදෙසා බීජ වැපිරීම ඉක්මන් වන බව සිතිය හැකිය.