Latestදේශීය

දෙවන පරපුර වටා එකතු වෙන්න – උවිඳු විජේවීර

ඉදිරි ජනාධිපතිවරණයේදී හැදෙන දේශපාලන කඳවුරු සහ රටට අහිතකර සියලු දේ පරාජය කිරීමට තම පක්ෂය ක්‍රියාකාරීව මැදිහත් වන බව දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (21) කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 14ට තම පක්ෂය වෙනුවෙන් සංවිධායකයන් පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පිළිගත් දේශපාලන පක්ෂයක් විදිහට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඉදිරියේදී පවත්වන මේ මැතිවරණ රටට වඩාත්ම සාමකාමී මැතිවරණ ලෙස කැඳවීමේ අයිතිය වෙනුවෙනුත් අපි ජනතාව සමඟ සිට ගන්නවා. මේ රටේ දේශපාලන පක්ෂ, කණ්ඩායම් දිහා බැලුවාම අපට පේනවා මේ දේශපාලන පක්ෂ නායකයන්, කණ්ඩායම්වල නායකයන් ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියලා. ඔවුන්ට තියෙන්නේ ඉතාම පටු තමන්ගේ පෞද්ගලික පක්ෂය දිනවීම හෝ නායකයා දිනවීමේ අරමුණු පමණයි.

අපි දන්නවා, මේ මොහොතේ මේ රට පාවා දෙමින් සිටින මේ රට විකුණමින් සිටින පාලකයන් එක්ක දේශපාලනය කළ පක්ෂ නායකයන් තමයි රට පුරාම ඉන්නේ. මේ ජරාජීර්ණ දේශපාලන නායකයන් එක්ක කටයුතු නොකළ පක්ෂ නායකයෙක් ඔබටත් මටත් පෙන්නන්න පුළුවන් ද? මේ හැමෝම හැම ආණ්ඩුවක් එක්කම හිටිය අය. ඇමැතිකම් දරපු අය. දෙවන පරපුර හැටියට අපි විශ්වාස කරනවා, මේ දූෂිත දේශපාලන සන්ධාන ඇතුළේත් මේ රටට අවංකව ආදරය කළ මිනිස්සු කොටසක් ඉන්නවා කියලා. රට වෙනස් කරයි කියලා ඡන්දය දුන්න පිරිසක් මේ ඇතුළේ ඉන්නවා. අපි කියනවා ඒ අවංක පිරිසට පක්ෂ පාට භේදයක් නැතිව දෙවන පරපුර වටා එකතු වෙන්න කියලා.

රතු, නිල්, කොළ වෙන්න පුළුවන්. අවුරුදු හැත්තෑ පහක් ඔබ මාරුවෙන් මාරුවට මේ පිරිසට ඡන්දය දුන්නා. ඇමැතිකමක් නොදරපු පක්ෂ නායකයෙක් ඔබට පෙන්නන්න පුළුවන් ද? මේ නිසා දූෂිත දේශපාලනඥයන් සමඟ අපේ නම් කිසිම ගනුදෙනුවක් නෑ. ඒ නිසා අපි ආරාධනා කරනවා, අනාගතය ගැන හිතන ලාංකේය මාවතට වෙනසක් බලාපොරොත්තු වන දෙවන පරපුර වටා එකතු වෙන්න කියලා.”

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *