Latestදේශීය

විදෙස් රැකියා වංචාකරුවන් සීග්‍රයෙන් අත්අඩංගුවට

2024.07.22 දින සිට ඊයේ (26) දක්වා ගතවූ දින 5 ක කාලය තුළ විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් දොළොස් දෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර්, නවසීලන්තය, මැලේසියාව, රැමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දොලොස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නවසීලන්තයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ නීතිවිරෝධි ආයතනයක්ද කුරුණෑගල ප්‍රදේශයේදී වැටලීම් කර තිබේ. එහි තිබී ජිව දත්ත පත්‍රිකා හා තවත් ලේඛන අඩංගු ලිපිගොනු 108ක්ද නිළධාරීන් භාරයට ගන්නා ලදී.

කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් වංචාකිරීම යන චෝදනාවලට අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ නීති කෘත්‍යන් සඳහා අධිකරණයන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් දඩුවම් පමුණුවා තිබේ.

විදේශ රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් ශ්‍රි ලාංකික තරුණ ප්‍රජාවට වෙත විවරවීමත් සමග විදේශ රැකියා වංචාවන්ද ඉහළ ගොස් ඇත. ඒ කෙරෙහි විශේෂ අවධානය යොමුකළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින්, විදේශ රැකියා වංචාවන්ට එරෙහිව සිය විමර්ශන කටයුතු පුළුල් කරන මෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර වැරදිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *