Latestදේශීය

විකල්ප ඡන්ද මධ්‍යස්ථානයන් හී ඡන්දය භාවිතා කරන්න පුලුවන්

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, නියමිත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය දීමට නොහැකිවීම පිළිබඳ සාධාරණ බියක් පවතින විට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස එලෙස ඉල්ලුම් කළ හැකි බවයි.

ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරි හා මැතිවරණ කාර්යාලවලින් ලබාගත හැකිය.

අදාළ අයැදුම්පත්‍ර ලබන අගෝස්තු පළමු වැනිදා හෝ ඊට පෙර, මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය, සරණ මාවත, රාජගිරිය යන ලිපිනයට එවිය යුතු වේ.

ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි ලවා ඉල්ලුම්පත්‍රය සහතික කරවා ගත යුතු බවත් ග්‍රාම නිලධාරි සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මැතිවරණ කොමිසම නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වුණේ, ඉල්ලුම්කරු විසින් 2024 වර්ෂයේ ඡන්ද විමසීම සඳහා වලංගු ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන, ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් තොරතුරු ඉල්ලුම්පත්‍රයේ සඳහන් කළ යුතු බවයි.

එම නාමලේඛන තොරතුරු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල හෝ මැතිවරණ කොමිෂන් සභාවේ www.election.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *