බාහු වෙනුවෙන්
වික්‍රමබාහු කරුණාරත්නගේ මරණය පිළිබඳව ශෝචනීය පුවත වඩාත් වේදනාකාරී වන්නේ ඔහුගේ දේශපාලන භූමිකාව අවසන් වී බොහෝ කල් ගතව තිබෙනවා කියා අපට සිතෙන නිසාය. එය ඔහුගේ වැනි ප්‍රතාපවත් දේශපාලාන සටන්කරුවෙක් හට සාධාරණ ඉරණමක් කියා අපට සිතෙන්නේ නැත. එම අර්ථයෙන් ඔහුගේ මරණය ඔහුගේ අතීත දේශපාලන අනෙකෙක් වූ නලින් ද සිල්වා ගේ මරණයට වඩා සංකේතාත්මක ලෙස වෙනස් වෙයි. නලින් ද සිල්වා මිය යන්නේ ඔහුගේ දේශපාලන භූමිකාව අවසන් බව ප්‍රායෝගිකව වටහා ගැනීමට පෙරයි. එම අර්ථයෙන් ඔහු වාසනාවන්ත වූවා කියා කිව හැක.
නමුත් බාහු මිය යන විට ඔහුට මෙරට දේශපාලනය තුළ භූමිකාවක් ඉතිරි වී නොමැති බව තවදුරටත් රහසක් නොවීය. මෙයට සරල හේතුව වන්නේ බාහු මාක්ස්වාදයේ අවසානය නම් දැවැන්ත ඓතිහාසික සිදුවීමේ වගකීම කරට ගැනීමට සිදු වූ පරම්පරාවට අයිති වීමයි. සමහර විට එම පරම්පරාවේ අවසාන ජාතික මට්ටමේ දැවැන්තයා වන්නේ බාහු විය හැක. බාහු මුහුණ දුන් ගැටලුව වන්නේ යුක්තිය වෙනුවෙන් වූ සිය අප්‍රතිහත කැපවීම රාමුගත කිරීමට ඔහුට මාවතක් නොමැති වීමයි. ඔහුට නලින් ද සිල්වා ට මෙන් කිසිදා දේශපාලනිකව මග වැරදුනේ නැත. ඒ වෙනුවට ඔහුට ඉතිරි වූ එකම අරගල භූමිය වූ අනන්‍යතා දේශපාලනයේ ප්‍රගතශීලී මාවත ඔහු විසින් තෝරා ගන්නා ලදී.
90 දශකයේ අපේ රටේ දේශපාලනයේ ජාතිකවාදයේ උච්ඡතම මොහොතේ දී අලුතෙන් පිටියට අවතීර්ණ වී සිටි චම්පික රණවක සහ විමල් වීරවංශ වැනි ආක්‍රමණකාරී සහ ජාතිවාදී තරුණ කථිකයන් හමුවේ අභීතව දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ සටන්කාමීත්වය පෙන්වූ ජාතික මට්ටමේ වාමාංශික නායකයා වූයේ ඔහුය. එම නිසාම ඔහුව ‘කොටියෙක්’ ලෙස දකුණේ සමාජයේ ගර්හාවට ලක් විය. මෙවැනි දේ කීමෙන් අප උත්සාහ කරන්නේ ඔහු සම්බන්ධයෙන් මිත්‍යා ප්‍රබන්ධයක් ගොඩ නැගීමට නොවේ. ඔහු ‘පරිසමාප්ත චරිතයක්’ කියා අප කියන්නේ නැත. බොහෝ කලකට පෙර X කණ්ඩායමෙන් පල කළ “අදහස් ගේට්ටුව ළඟ” කෘතියේ ඔහුගේ භාවිතයේ ඇති සමහර පරස්පරතා ප්‍රශ්න කර තිබුණි. තවත් අය තවත් දේ කියනු ඇත. නමුත් පරස්පරතා නොමැති ජීවිත තිබෙන්නේ කාට ද? අප නිශ්චිත වශයෙන්ම දන්නේ ඔහුගේ සටන්කාමිතය, උද්යෝගය, ආත්මවිශ්වාසය ඉතාම අවාසිදායක කොන්දේසි යටතේ වුවත් 90 දශකයේ අවසානය වන තෙක් දකුණේ සිංහල කතිකාව තුළ දේශපාලන විශ්වීයත්වයේ උරුමය නියෝජනය කළ බවයි.
උතුරේ සන්නද්ධ කැරැල්ල හමුවේ දකුණේ මුළුමහත් සමාජයක් ජාතිවාදයට තල්ලු වී යන සන්දර්භයක ඔහුගේ හුදෙකලා සටන්කාමිත්වය දේශපාලන යුක්තිය යන විශ්වීයවාදය වෙනුවෙන් අකණ්ඩව පෙනී සිටින ලදී. එම නිසා අපි ඔහු වෙනුවෙන් අර්ථ දෙකකින් වැලපෙමු. එක් අතකින් ඔහු වෙනුවෙන් ඔහුට තවදුරටත් පිළිතුරු දීමට නොහැකි වන නිසා අපි වැලපෙමු. මරණය නම් අත්‍යන්ත අසාධාරණය හමුවේ වැලපෙමු. තවත් අතකින් ඔහුගේ දේශපාලන සටන්කාමිත්වයේ උරුමය ආරක්ෂා කරගන්නේ කෙසේ ද කියා අප නොදන්නා නිසා වැලපෙමු.
(බටහිර ඉවුරේ දර්ශනය)