Latestවිදේශීය

වෙනිසියුලාවේ මදුරෝට පහසු ජයක්

පසුගිය දා පැවති වෙනිසියුලාවේ ජනාධිපතිවරණයෙන් පාලක සමාජවාදී පක්‍ෂයේ නායක නිකොලා මදුරෝ ජයග්‍රහණය කල බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. කෙසේ වෙතත් ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් රාශියක් නිල චන්ද ප්‍රතිඵල පිළිබඳව සැක පල කරන බව වාර්තා වේ. නිකොලා මදුරෝ 51.20%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර විපක්‍ෂයේ අපේක්ෂකයා වන එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියා 70%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇත. කෙසේ වෙතත් විපක්ෂය මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර නව පාලනයට එරෙහිව නැගී සිටින ලෙස හමුදාවෙන්ද ඉල්ලා ඇත.

වෙනිසියුවෙලාවේ ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) විසින් ඉරිදා සවස ප්‍රකාශයට පත් කරන ලද නිල ප්‍රතිඵලවලට අනුව 80%ක ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් සහ 59%ක සහභාගීත්වය තහවුරු කිරීමෙන් පසුව, හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ (1999-2013) උරුමක්කාරයා වන 61 හැවිරිදි මදුරෝ මිලියන 5.15 ඡන්ද (51.2%) සමඟ අඛණ්ඩව තුන්වන වසර 06කට එනම් 2030 දක්වා නැවත තේරී පත් වී ඇති බව නිවේදනය කර ඇත. විරුද්ධ අපේක්ෂක PUD පක්‍ෂයේ එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියා ඡන්ද මිලියන 4.5ට අඩු (44.2%) ලබා ගෙන ඇත.

වසර 25ක චාවිස්ටා බලයට තිත තැබිය හැකි යැයි සිතූ විපක්ෂය මැතිවරණ ප්‍රථිපලය වහා ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය.

“70% ඡන්ද ප්‍රතිශතයකින් අපි දිනුවා” වෙනිසියුලාවට සැබෑ චන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙක් සිටින අතර ඔහුගේ නම එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් උරුටියා” යැයි ලිබරල් විපක්ෂයේ නායිකා මාරියා කොරිනා මචාඩෝ මාධ්‍ය වෙත පවසා සිටියාය.

“මෙය තවත් වංචාවක් නොව වරදවා වටහා ගැනීමක් සහ මහජන කැමැත්ත දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්. අද ඇත්තටම මොකද උනේ කියලා අපි හැමෝම දන්නවා. මේ ප්‍රථිපලය අපි පිළිගන්නේ නෑ. අපගේ සටන දිගටම පවතිනවා, වෙනිසියුලානු ජනතාවගේ කැමැත්ත පිළිබිඹු වන තුරු අපි විවේක ගන්නේ නැහැ. අපි හමුදාවට කියනවා මේ අසාධාරණයට එරෙහිව නැගී සිටින ලෙස” යයි පැවසුවේ මැතිවරණය දූෂිත බව පැවසීමට අවශ්‍ය පැහැදිලි සාක්‍ෂියක් හෝ ඉදිරිපත් නොකරමිනි.

කෙසේ වෙතත් පරාජිත විපක්‍ෂයේ අපේක්‍ෂක Gonzalez Urrutia නිකොලා මදුරෝගේ පත්වීමට එරෙහිව විරෝධතා ජනතාව සඳහා කැඳවීමක් සිදු නොකරන බවත් ජනතා මතයට ගරු කරන බවත් මාධ්‍ය ඉදිරියේ පොරොන්දු වූවේය.

මේ වනවිට මදුරෝගේ ජයග්‍රහණය පිළිගනිමින් චීනය, කියුබාව, නිකරගුවාව, හොන්ඩුරාස් සහ බොලිවියාවෙන් සුබ පැතුම් ලැබී ඇත. එහෙත් එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ස්පාඤ්ඤය, චිලී, පේරු, කොස්ටාරිකා, ගෞතමාලාව, කොලොම්බියාව, උරුගුවේ සහ ආර්ජන්ටිනාව නිල ප්‍රතිඵලය පිළිබඳව සැක පළ කර ඇත.

ආර්ජන්ටිනාවේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති වන Javiyer MILLEI විසින් නිකොලා මදුරෝ ඒකාධිපතියෙකු ලෙස හැඳුන් වූ අතර ඔහුගේ සමාජවාදය රට හිඟමනට තල්ලු කර ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය. නමුත් ආර්ජන්ටිනාව පාලනය කරන Javier millei පාලනය විසින් මුල්‍ය අරමුදල් වාර්තා විසින්ම පෙන්වා දෙන ආකාරයට මේ වනවිට රජයේ සේවකයින් 70,000ක් දොට්ට දමා රටේ දරිද්‍රතාවය 55%කින් ඉහළ දමා ඇත්තේ රටේ අබ්බගාත ප්‍රජාවට පවා සහන ලබා දුන් රජයේ ආයතන වසා දමමිනි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මදුරෝගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පතමින් ටෙලිග්‍රෑම් පණිවිඩයක් යවා තිබු අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නැගීම සඳහා රුසියාවේ සංචාරයක් සඳහාද ආරාධනා කර තිබේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මදුරෝ එරට අගනුවර ජනාධිපති මන්දිරය අසළ වේදිකාවක පෙනී සිටියේය. වෙනිසියුලාවේ ජාතික ඩජයේ වර්ණවලින් යුත් ට්‍රැක් ඇඳුමකින් ඔහු සැරසී සිටියේය. ඔහුගේ ජයග්‍රහණය සැමරීම සඳහා සමජවාදී පක්‍ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් “වමෝස් නිකෝ!” (අපි යමු, නිකෝ) කියමින් ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස් වී හඬ නැගූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි.

“රට තුළ සාමය, ස්ථාවරත්වය සහ සමාජ සාධාරණත්වය සඳහා වූ මාගේ කැපවීම තවදුරටත් පවත්වාගෙන යාමට මා ඔබට පොරොන්දු වෙමි. සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියට ගරු කරන මා සාමකාමී සහ සංවාදයට කැමති මිනිසෙක්. සම්බාධක, ප්‍රහාර, තර්ජන මගින් සමාජවාදය සඳහා වූ අපේ ගමන නතර කරන්න අධිරාජ්‍ය වාදීන්ට හැකියාවක් නෑ” යයි ඔහු ජනාධිපති මන්දිරය ඉදිරිපිට රැස් වූ තම පාක්‍ෂිකයින් අමතමින් පවසා සිටියේය.

දිගු කලක් ලතින් ඇමරිකාවේ ධනවත්ම රටක් මෙන්ම ලෝකයේ තෙල් නිෂ්පාදනයෙන්ද ඉදිරියෙන් සිටින රටක් වන වෙනිසුවේලාව 2014 සිට පහළ ගිය ලෝක තෙල් මිල හේතුවෙන් රටේ දල දේශික නිෂ්පාදනය 75%කින් ඇද වැටුණු රටක් ද වේ. දුප්පත්කම හා ආර්ථික විෂමතාවය හේතුවෙන් මිලියන 7ක ජනතාවක් රට අතහැර පලා ගොස් ඇත. උද්ධමනය 100%ලෙස සටහන් වේ. 2014 තෙල් නිෂ්පාදනය බිඳ වැටීමෙන් පසු ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපන යන අංශ දුර්වල වීමටද හේතු විය. තෙල් නිෂ්පාදනයෙන් උපයා ගනු ලැබූ අදායම් ආර්ථික විවිධාංගීකරණයකට ලක් නොකිරීම නිසා මෙම තත්වය ඇති වූ බව ආර්ථික විශේඥයයන්ගේ මතය වේ.

2014 සිට උද්ගත වූ ලෝක තෙල් අර්බුධය තුළ සෞදි අරාබිය, කටාර් හා නොර්වේ රාජ්‍යයන් ආර්ථික අර්බුධයෙන් මිදී යාමට සමත් වනුයේ එවැනි විවිධාංගීකරණයකට තෙල් අපනයනයෙන් ලැබෙන ආදායම ආයෝජනය කර තිබීම නිසා ඒවා ජනතා සුබසිද්ධියට යොදා ගැනීම නිසාවෙනි. එහෙත් වෙනිසුවේලාවට එවැනි ක්‍රම වේදයක් තිබුනේ නැත. තෙල් අදායමෙන් සමාජ සුබ සිද්ධිය සඳහා වූ ප්‍රගතිශීලි ව්‍යපෘති ක්‍රියාවට නංවා තිබුනද තෙල් අර්බුධයකදී සිදු කළ යුතු හදිසි ක්‍රියා මාර්ග සඳහා වැඩපිළිවෙලක් පාලක සමාජවාදී පක්ෂයට තිබුනේ නැත. මේ වනවිට ලෝක තෙල් මිල ඉහළ යාම හා රුසියානු-යුක්රේන අර්බුධය හේතුවෙන් රුසියාවට හා ඉරානයට එරෙහිව බටහිර හා ඇමරිකානු සම්බාධක පැනවීම නිසාත් තෙල් හා ගෑස් සඳහා විශාල ඉල්ලුමක් ලෝක වෙළඳ පල තුළ පවතී.

මෙම නිසාම වෙනිසුවේලාවට එරෙහිව පනවා තිබු ආර්ථික සම්බාධක යම් ප්‍රමාණයක් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉවත් කරන ලදී. මුල්‍ය අරමුදල් වාර්තා අනුව වෙනිසුවේලාව වර්තමානයේ ලෝක වෙළඳපොළට දිනකට තෙල් බැරල් 80,0000 සපයන අතර ආර්ථික වර්ධන වේගය 2024 සඳහා 4% ලෙස සටහන් කරනු ලබයි. ඒ අනුව ඉදිරි වසර 6 තුළ ජනතාව මුහුණ දී සිටින සමාජ හා ආර්ථික අර්බුධයෙන් මුදවා ගැනීම සඳහා වූ සැබෑ ජනතාවාදී පාලනයකට ගමන් කිරීමට මදුරෝ පාලනයට සිදු වනු ඇත.

වෙනිසියුලානුවේ තේරී පත් වූ නව ජනාධිපති නිකොලා මදුරෝ ගේ ජයග්‍රහණයත් සමග එරට අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට පිවිසෙන බවට බටහිර ලිබරල් බුද්ධිමතුන් සඳහන් කලද ලොව පුරා වාමාංශික ව්‍යාපාර සිදු කරන ජයග්‍රහණ හා බටහිර ඇතුළු ඇමරිකාව හා රුසියා-චීන බල කඳවුර ලෝක බල තුලනය තුළ එකිනෙකාට පස මිතුරු ආකාරයකින් නිරන්තර ගැටුමක නිරතව සිටින තත්වයන් තුළත්, ලෝක තෙල් මිල ඉහළම අගයක පවතින නිසාත් මදුරෝ පාලනයට එවැනි අස්ථාවර තත්වයකට මුහුණ දීමට සිදු වෙතැයි යන්න පිළිබඳව සැක සහිත බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතයයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *