බංග්ලාදේශය නැවතත් උණුසුම් – යුක්තිය ඉල්ලා සිසුන් මහපාරට
බංග්ලාදේශයේ පසුගියදා සිදුවූ විරෝධතාව අතරතුර මිය ගිය පුද්ගලයන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සරසවි සිසුන් නැවත වරක් විදි බැස උද්ඝෝෂණයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගමැතිනිය ශෙයික් හසීනා සරසවි සිසුන්ගෙන් සමාවගත යුතු බවත්, පසුගියදා සිදුවූ ගැටුම් සම්බන්ධව ඇමැතිවරු 6 දෙනකු ඉල්ලා අස්විය යුතු බවත් කියමින් එම විරෝධතාව පවත්වා ඇතැයි වාර්තා වේ.
ඩකා අගනුවර සහ තදාසන්නන ප්‍රදේශවල සරසවි සිසුන් හා පොලිසිය අතර ගැටුම් සිදුවූ බවත්, සිල්හෙට් නුවරදී පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් පෙරළා ඔවුන්ටම දමා ගසමින්ද, පොලිස් නිලධාරීන්ට පහර දීමෙන්ද සරසවි සිසුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
සරසවි සිසුන්ගේ නව විරෝධතාවට පොලිස් කැරලි මර්දන සෙබළුන් පහරදීම, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, අත්අඩංගුවට ගැනීම වීඩියෝගත කර විදෙස් මාධ්‍ය වෙත යවා ඇතැයි ද තොරතුරු වාර්තා වන බව සඳහන් වේ.
@දිනමිණ