Latestදේශීය

ගොළුවෙක් වගේ ඉන්නේ නැතුව කතා කරපං – මේ කියන්නේ මොකක්ද? අනුර විමසයි

මනුෂ්‍යයන් ලෙස මේ දක්වා පැමිණි ගමන් මාර්ගයේ කාර්මික විප්ලවයෙන් පසුව උදා වූ යුගය ආබාධ සහිත වූවන් ලෙස පමණක් නොව පොදු සමාජය ද එක් පැත්තකින් අඳුරට ඇද දැමීමට සමත් වූවත් එය අතීතයට බාර දී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කර ගනිමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇරයුම් කරයි.

ඔහු එම ඇරයුම කළේ (03) කොළඹ පදනම් ආයතනයේ දී පවත්වන ලද උත්සවයක දී ය. ආබාධ සහිත පුරවැසියන් පිළිබඳ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම එහිදී සිදු කෙරිණි. එම උළලේදී වැඩි දුරටත් පළ කළ අදහස් පහත දැක්වේ.

විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්වයන් විවිධ ආකාරයෙන් අපට ඉදිරිපත් කළා. ඒ වගේම තමන්ගේ කුසලතාවන් හා හැකියාවන් මේ වේදිකාව තුළ ඉදිරිපත් කළා. ඒ සියලු දේ දකින කොට නිතැතින්ම සිහිවන්නේ අප කොතරම් අකාරුණික සමාජයක, කොතරම් අයුක්තිසහගත වටපිටාවක ජීවත් වෙනවාද කියන එකයි. මම එක සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රොණකින්වත් හානිවීමට ඉඩ තබන්නේ නැහැ. අපේ රට විශාල කඩා වැටීමකට මුහුණ දීමෙන් වැඩිම වින්දිතයන් බවට පත්වී සිටින්නේ ඔබ සියලුදෙනායි. මේ වේදිකාවේදි කියැවුණේ රට මේ තරම් කඩා වැටී තිබුණත් ඒ සම්බන්ධ කිසිදු චෝදනාවක් මෙතනට රැස්වී සිටින ඔබ සැමට නැති බවයි. ඇස් පෙනෙන, කන් ඇසෙන, නිවැරදිව චලනයන් තිබෙන පිරිසක් තමයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළේ. එහි අනිටු පලවිපාක සමස්ත සමාජයම වෙළාගෙන තිබෙනවා. ඔබ දෙස බලනකොට, ඔබගේ කතාවලට සවන් දෙනකොට, ඔබගේ හැකියාවන් ප්‍රදර්ශනය වෙනකොට අපට හිතෙන්නේ අප මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා. මේ අඳුරුභාවය අතීතයට බාරදීලා සුබ උදෑසනක් අපේ රටට නිර්මාණය කළ හැකියි කියන දැඩි විශ්වාසය අපට තිබෙනවා.

අපිත් එක්ක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත සොයුරන්, ඇසුරු කළ කණ්ඩායම් මෙතන ඉන්නවා. වරින්වර මුණ ගැසී තිබෙනවා. හමු වූ ඒ අවස්ථාවලට වඩා අද අපි හැමකෙනාගේම ඇස් විවර වුණා කියලා හිතෙනවා. අපි හැමදෙනා වෙනුවෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා ගනිමු කියා ආරාධනා කරනවා. අප හමුවට එන ගැටලු දරාගැනීමට දේව කැමැත්ත හෝ කර්මය කියලා හිත හදා ගත්තා. ලෝකය ඉදිරියට එමින් කාර්මික විප්ලවය සිදුවීමේදී ඒ කාර්මික විප්ලවයට උකහා ගත නොහැකි පිරිස, ආබාධිතයන් ලෙස නම් කළා. ඒ අය හුදකලාභාවයට ලක් කළා. නමුත් සමාජයේ තවත් අදියරකදී ඔවුන්ව බලාගැනීම කාරුණික හැඟීමක් හෝ පුණ්‍ය කටයුත්තක් ලෙස අනෙකා කෙරෙහි මෛත්‍රීය පෙන්වීමක් වැනි හැඟීමකට ලක්කර සුබසාධනයන් සැපයූවා. නමුත් එක්සත් ජාතීන් සම්මත කර ගත් යෝජනා අනුව එම ජනතාවගේ අයිතීන් ලෙස මූලික කරුණු හඳුන්වාදී දිගු පියවරක් තැබුවා. සමහර රාජ්‍යයන් සමානත්වයෙන් මේ ප්‍රජාවට අයිතිවාසිකම් ලබාදී තිබෙනවා.

පොලීසියට ගිහින් කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන කොට “ගොළුවෙක් වගේ ඉන්නේ නැතිව කතා කරපං.” කියලා කියනවා. එතන තිබෙන්නේ කථා නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපහාසයට ලක්කිරීම සහ තර්ජනයට ලක්කිරීමයි. තවත් විටෙක “බීරෙක් වගේ ඉන්න එපා” කියනවා. අනෙකාට රිදවන්න, අනෙකාට අපහාස කරන්න තව කෙනෙකුගේ විවිධ අංග උපයෝගී කර ගන්නවා. අපි කවුරුවත් පස්මහ බැලුම් බලලා ඉපදුණු අය නොවෙයි. ඇතැම් ලක්ෂණ විසින් සමහර අසම්පූර්ණතා තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක මුඛ්‍ය පරමාර්ථය ඔබද අන් අයද වෙනුවෙන් සමානාත්මතාවයෙන් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමයි. ඡන්දයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධයෙන් විවිධ අර්ථකථන තිබෙනවා. ඡන්ද කාලයේ කියන ප්‍රතිපත්ති ප්‍රකාශන බරපතළ ලෙස ගන්න එපා කියලා රූපවාහිනී සංවාදයකදී පාලකයන් කිවූ ආකාරය අපට මතකයි. නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ කවර හෝ දේශපාලන ව්‍යාපාරයක් බලයට පත්කිරීම සඳහා ඇතිකර ගන්නා එකඟතාවයයි. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඡන්දදායකයාත් පාලකයාත් අතර, ගොඩනැගෙන සම්මුතිය. මේ සම්මුතිය බිඳින්න, පසෙක තබන්න, නොසලකා හරින්න අපිට අයිතියක් නැහැ. අපි මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටිනවා.

එක යුගයකදී, තිබුණු සංකීර්ණ ප්‍රශ්න අද සංකීර්ණ ප්‍රශ්න නොවෙයි. කවර හෝ ආබාධ සහිත කෙනෙකුට සමාජයේ අනෙකුත් අය භුක්ති විඳින සියල්ල භුක්ති විඳීම අපහසු කාර්යයක් නොවෙයි. නොසලකා හැරීමයි සිදුකර තිබෙන්නේ. ආබාධ සහිත වූවන් කුමන මට්ටමක සිටියත් සෙලියුලර් පාවිච්චි කළ හැකි තත්වයට තාක්ෂණය දියුණු වී තිබෙනවා. අද පවතින බොහෝ ගැටලු වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ මෙන්ම සමාජ ආකල්පමය වශයෙන් දියුණු කිරීමෙන් විසඳිය හැකියි. මේ 21වැනි සියවසේ ඔබ තවදුරටත් සංවාදයට අදාළ නොවෙන පුරවැසියන් බවට පත්විය යුතු නැහැ. මිනිස් ප්‍රජාව විසින් අත්පත් කරගෙන තිබෙන මහා ජයග්‍රහණ ඉලක්ක සහගතව මෙහෙයවමින් ඔබ ඇතුළු සියලු දෙනාට මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසයි ජාතික ජන බලවේගයේ අපි “එක්ව අත් නොහැර” ආදර්ශ පාඨය ලබාදී තිබෙන්නේ.

විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන බාධාවන් ඉවත් කරනවා වගේම රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රවේශයක් සියලුම දෙනාට ලබාදෙනවා. ආබාධ සහිත දරුවෙකු සිටින පවුලේ සියලු දෙනා වේදනාවට පත්වී, අපහසුතාවයට පත්වී, ආර්ථිකයට බරක් වී ඇති තත්වයෙන් මුදා ගත යුතු වෙනවා. ආර්ථිකයට යම් වටිනාකමක් අත්කර දීම සඳහා ඔවුන්ගේ හැකියාවන් යොදා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රධානම ක්‍රියාමාර්ගයක්. ආබාධ සහිත වූවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ බව සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ආරක්ෂාව සහ යුක්තිය වෙනුවෙන් මූලික වගකීම රජය බාරගන්නවා. විශේෂයෙන්ම ආබාධ සහිත දැරියන් මුහුණ දෙන ඛේදවාචක මාධ්‍යවල වාර්තා වී තිබෙනවා. ඉක්මනින්ම ආකල්පවල වෙනසක් සිදු විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනය සහිත සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ආරක්ෂාව ගොඩනැගෙන්නේ ඒ තුළයි. ආබාධ සහිත ප්‍රජාව සමාජයේ ක්‍රියාකාරී කොටස්කරුවන් බවට පත්කිරීම අපගේ මූලික අරමුණයි. අපේ මේ ප්‍රතිපත්තිවල ඵලදායීතාවය තිබෙන්නේ දත්ත ඇතුලේ නොව, මනුෂ්‍යත්වය ඇතුළෙයි. අද තිබෙන්නේ මනුෂ්‍යත්වය සහ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔබද අපද ඇතුළුව සියලු දෙනා ඉදිරියට ගෙන යන ක්‍රියාමාර්ග නියත වශයෙන්ම අප ක්‍රියාත්මක කරනනවා. අපි එක්ව අත් නොහැර ඉදිරියට යමු කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *