Latestදේශීය

රටක් ලෙස ජයගත යුතු දෙවෙනි මෙහෙයුම මෙයයි

ශ්‍රී ලංකාව ස්වාධීන රටක් ලෙස බේරා ගැනීමේ පළමු මෙහෙයුම අවසන් කළ පසු නොසිතූ ආකාරයේ බංකොලොත් තත්වයකට ඇද දැමූ රට දෙවෙනි මෙහෙයුමට මැදිහත් වි බේරා ගත යුතුව තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් මාෂල් සම්පත් තුයියකොන්ත අවධාරණය කරයි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා අදිටන ජාතික මහ සමුළුව අමතමින් මේ බව අවධාරණය කළ ඔහු වැඩි දුරටත් දැක් වූ කරුණු පහත පළවේ.

අද මේ රටට, රටේ දේශපාලනයට අමතක නොවෙන දවසක්. මෙතරම් විශ්‍රාමිකයන් හමුදා සාමාජිකයන් පිරිසක් එක තැනක රැස්වෙනවා දැක නැහැ. ගිය අවුරුද්දේ පෙබරවාරි අපි පළමු සමුළුව තිබ්බා. එදා එක්දහස් පන්සියයක් පමණ රැස්වුණා. අද වන විට කාටවත් සමකළ නොහැකි, කවුරුත් පුදුමයට පත්කරවන සමූහයක් බවට විශ්‍රාමික හමුදා සාමූහිකය පත්වී අවසන්.
අපේ රටේ සාමාන්‍ය ජනතාවට දේශපාලනය ගැන කතා කළොත් බොහෝ දෙනෙක් කියන්නේ “දේශපාලනය කතා කරන්න එපා” කියලා. ඇයි එහෙම කියන්නේ. දේශපාලනය නරක එකක්ද? දේශපාලනය, මිනිසා විසින් මිනිසාට කරනු ලබන විශාල සේවයක්. දියුණු රටවල්වල දේශපාලනය ඉතාමත් ගෞරවාන්විතයි. නමුත් ලංකාවේ දේශපාලනය කතා කරන්නවත් අකමැති මාතෘකාවක් වෙලා. මේ සියලු දෙනාම දේශපාලනයට අද ඇවිත් තිබෙනවා. මේ කැත වෙලා තිබෙන දේශපාලනයට හොඳ නමක් දෙන්න නේද මේ ඇවිත් තිබෙන්නේ. මේ කැත දේශපාලනය දශක ගණනාවක් ක්‍රියාත්මක වුණු නිසා තමයි 2022දී අරගලයක් මතු වුණේ. මිනිසුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා නැතිවුණාම පාරට බැහැලා අරගල කරනවා.

ගැතිකම්වලට මූලිකත්වය දුන්නු, පක්ෂ දේශපාලනය, නිසා නොවෙයිද මේ රට මෙතරම් පහතට වැටී තිබෙන්නේ. අපි වසර ගණනාවක් නායකයන් මාරු කළා. අපි මෙතෙක් මාරු කර තිබෙන්නේ එකම කණ්ඩායමක් විතරයි. බලයක් මාරු කර නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අද අපේ ආර්ථිකය, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජය හැමදේම නැති වෙලා. ජනතාවට අවශ්‍ය කරන මූලික දේවත් නොලැබෙන විට ජනතාව පාරට බැහැලා අරගල කළා. ඒ නිසාම පාලකයන්ට යන්න සිදුවුණා. පාලකයන්ගේ නික්ම යාමෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්වුණා. එහෙම පත්වුණාට පස්සේ ඔළුවට තුවක්කුව තියලා අරගලය නැතිකර දැම්මා. දැන් කියනවා රට අරාජික නැහැ කියා. මහපාරේ අරගලය නැති වුණාට ගෙවල්වල අරගලය තිබෙනවා. වංචා දූෂණය තියෙනවා. මිනිස්සු අරගලයේ යෙදෙනවා. මිනිස්සුන්ට හරිහමන් ආහාර වේල නැති අරගලය තිබෙනවා. රටේ පාතාලය ක්‍රියාත්මක වෙනවා. මහදවල් මිනිස්සු මරලා යනවා. ණය කන්ද වැඩිවෙලා. ණය ගෙවන ක්‍රමයක් නැහැ. රටේ සම්පත්, මර්මස්ථාන විකුණනවා. රට ගොඩදාලා තියෙනවා කියලා කියනවා. මිනිස්සුන්ගේ ගෙවල් ඇතුළේ තිබෙන අරගලයට විසඳුමක් පෙන්න නැහැ. මේ රට වලපල්ලට ඇද දැමූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අරමුණෙන්, පොදු අරමුණක් සඳහා කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නැතිව ඔබ, මෙතනට එක් රැස්වී සිටිනවා. ජාතික පුනරුදයක් වෙනුවෙන් අපේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියනවා. ඒ ගොල්ලන් දේශපාලනය කරන්නේ ඒ ගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න, බලය පවත්වාගෙන යන්න, ධනය උත්පාදනය කරගෙන යන්න. රටට හොඳක් කරන්න නොවෙයි. තමන් දෙවියන් වගේ සලකපු පක්ෂයේ නායකයා දාලා වෙන පක්ෂයකට යනවා. හිටපු පක්ෂය මතක නැහැ. මේ දේශපාලනය ගැන ජනතාව දන්නවා. ඒ නිසා තමයි අපි වටා, ජාතික ජන බලවේගය වටා විශාල වශයෙන් එකතු වෙමින් සිටින්නේ. අපේ ජයග්‍රහණය කරා යන්නට එය ප්‍රමාණවත්.

අපේ රටට සෑම අංශයකම වෙනසක් අවශ්‍යයි. සිතුම් පැතුම් පවා වෙනස් විය යුතුයි. චීනය, ජපානය එහෙම වෙනස් වුණු රටවල්. ජපානය දෙවන ලෝක යුද්ධයේදී ආක්‍රමණශීලී රටක්. ජර්මනිය, ඉතාලිය, ජපානය එක කඳවුරක ඉඳගෙන තමන්ගේ බලය පතුරුවන්න උත්සාහ කළා. ජපානය ගුවන් යානා පාවිච්චි කරමින් ඇමෙරිකාවේ පර්ල් වරායට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා. චීනයේ සමූල ඝාතන කළා. හිරෝෂිමා නාගසාකි බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජපානය ඒ ගොල්ලන්ගේ සියලුම දේවල් වෙනස් කළා. ඇමෙරිකාවත් එක්ක ගිවිසුම් ගැහුවා. ලංකාවේ නායකයන් ජපානයට ගිහින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කිවුවා. එහෙම කියපු නායකයන් ලංකාවේ වෛරය වැපිරෙව්වා. යාපනයේ පුස්තකාලය ගිනි තිබ්බා. කළු ජූලිය ඇති කළා. ප්‍රජාතන්ත්‍රීයව දේශපාලන කළ තමන්ගේ විරුද්ධවාදියාගේ දේශපාලන අයිතිය නැති කළා. ජනතා විමුක්ති පෙරමුණ වැනි තරුණ දේශපාලන කඳවුරු සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම තහනම් කළා. එහෙම වෛරය වැපිරෙව්ව අය ජපානයට ගිහින් බණ කිවුවා. ජපානය තමන්ගේ වෙනස් වෙන්න ඕන පාර තේරුම් ගත්තා. මෝටර් රථ නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති කර, ලෝකයේ මෝටර් රථ වෙළඳපොළ අල්ලා ගත්තා. ජපානයේ ආක්‍රමණශීලී හමුදාව දැන් ඉන්නේ ආක්‍රමණය කරන්න නොවෙයි, සාමය ආරක්ෂා කරන්න. රට ආරක්ෂා කරන්න. ඒවැනි ආකල්පමය වෙනස්කම් කරමින් ලෝකයේ දියුණුම රටක් බවට ජපානය පත්වෙලා තිබෙනවා. චීනයත් සුබවාදීව සහ උපායශීලීව නව නිපැයුම් මගින් කාර්මික රටක් බවට පත්කර ගත්තා. එහෙම තමයි රටවල් දියුණු වෙලා තිබෙන්නේ. ඩෙං ෂියා ඕ පින් කිවුවා “බළලා මීයෝ අල්ලනවා නම්, ඒ බළලා කළුද, සුදුද කියන එක මට අදාළ නැහැ” කියලා. චීනය අද ලෝකයේ විශාල ආර්ථිකයක් හිමි රටක් බවට පත්කරගෙන තිබෙනවා. ලෝකයේ එහෙම තමයි.

අපේ රටේ මේ දේශපාලකයොත් එක්ක ඒ වෙනස කරන්න අමාරුයි. මේ වැටුණු රට තුළත් මොරාල් එකක් තියෙනවා. ඒ මොරාල් එක තමයි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව තිබෙන ජනතාවගේ උත්තේජනය. මොන අමාරුකම් තිබුණත් ජනතාව තුළ උත්තේජනයක් තිබෙන්න හේතුව තමයි ජාතික ජන බලවේගය වැනි දේශපාලන පක්ෂයක් හා ඒකට නායකත්වය දෙන අනුර කුමාර දිසානායක වැනි පිරිපුන් නායකත්වය. කැත දේශපාලන සංස්කෘතියෙන් මිදී, ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ලැබීම ගැන අපි සියලු දෙනාම ආඩම්බර විය යුතුයි. ජාතික පුනරුදය හරහා රටේ ඉදිරි අනාගතයට අවශ්‍ය කරන, දියුණුවේ මාවතට පෙළ ගස්වන්න පුළුවන් දේශපාලන පක්ෂයක් අපට තිබෙනවා. අපි විශ්‍රාමික සාමාජිකයන් හැටියට එකතු වුණා වගේම මේ ජයග්‍රහණය සඳහා අපි පෙළගැසෙමු. මේ අපේ දෙවැනි මෙහෙයුමයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *