Latestදේශීය

හැමදාම දුන්නේ පොරොන්දු විතරයි – ආදිවාසී ජනතාවගේ ගැටළු කවුරුත් විසදුවේ නැහැ

“රටේ අලුතින් පත්වෙන ජනාධිපතිවරයෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආදිවාසි පරපුර වෙනුවෙන් පනවා ඇති නීතිරිති ලිහිල් කරලා පරපුර ඉදිරියට ආරක්ෂා කරන, ආදිවාසි පරම්පරාවේ අයවලුන්හට නිදහසේ ජීවත් වීමේ අවස්ථාව වාතාවරණය උදාකරදෙන කෙනෙක් වෙනවානම් හොඳයි කියන එකයි’ යැයි ආදිවාසි නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, දඹාන කොටබකිණිය ගම්මානයේදී මෙවර පැවැත්වෙන ලෝක ආදිවාසි දිනය සැමරුම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක් අතරතුර එලෙස පැවසීය. එහිදී ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් හා අලුතින් පත්වන ජනාධිපතිවරයා ගෙන් ආදිවාසි පරපුර අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව ද අදහස් ප්‍රකාශ කෙරිණි.

ලෝක ආදිවාසි දින සැමරුමට සමගාමීව දඹාන, කොටබකිණිය ගම්මානයේදී ජාතික ආදිවාසි දින සැමරුම් උත්සවය, අද (09) “ආදිවාසි සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳ තීරණ ගැනීමට ආදිවාසි තරුණ තරුණියන් නියෝජිතයන් ලෙස හඳුනා ගැනීම” යන්න තේමාව කරගනිමින් රට පුරා ආදිවාසි ගම්මානවල ආදිවාසි නායකයන් හා ආදිවාසි පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර ඇත. රාජ්‍ය අනුග්‍රහයෙන්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමත්‍යවරයාගේ හා රාජ්‍ය ආයතන රැසකගේ සහභාගිත්වයෙන් එම සැමරුම උදැසන 9.00 සිට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මූලික වශයෙන් අගොස්තු මස 08 වන දින (ඊයේ) රාත්‍රියේ පැවැත්වූ වරිග සභාවේදී සාකච්ඡාවට බඳුන් කළ ආදිවාසි පරපුරේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සංදේශයක් සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමත්‍යවරයා වෙත උත්සව සභාවේදී භාරදීමට නියමිතව ඇත.

ආදිවාසි නායකතුමන් මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින්, “වසර ගණනාවක් තිස්සේ සෑම වසරකම ආදිවාසි දිනයේදී අපේ ගැටලු හා ඒවාට විසඳුම් ඉල්ලා රජය වෙත භාරදුන් සංදේශවලින් සමහරක් ගැටලුවලට විසඳුම් ලැබිලා තියෙනවා. තවත් සමහරක් ගැටලුවලට මෙතෙක් විසඳුම් ලැබී නෑ. ඒවාට විසඳුම් නොලැබෙනවානම්, මම හැමදාම කියනවා වගේ පොරොන්දු විතරයි වැඩනම් මුකුත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. මේ ඡන්දෙදී මොන අපේක්ෂකයා දිනුවත් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ගැටලුවලට විසඳුම් ලබාදෙන නායකයෙක්. නායකයෙක් කියන්නේ රජෙක් වගේ කෙනෙක් නෙවෙයි. අපි ඡන්දයකින් තමයි ජනාධිපතිවරයෙක්ව බලයට පත්කරන්නේ. ඒ අයට වගකීමක් තියෙනවා, උස්පහත් භේදයකින් තොරව රටේ සියලුම ජනතාව එක හා සමානව සලකමින් කටයුතු කරන්න. ඒ පත්වෙන කෙනා ජාතිය, ආගම් ගැන, සිරිත්විරිත් පිළිබඳව, පරිසරය, ස්වභාදහම ගැන හිතන කෙනෙක් වෙන්නත් ඕන. ඒ වගේම ගුණ ධර්මවලින් ඉහළ තැනක ඉන්න කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතිව හිතුමතේට වැඩ කරන නායකයෙක් පත් වෙනවානම් ඒ නායකයාගෙන් රටට වැඩක් නෑ. ජනතා ඡන්දෙන් පත්වෙන හැම නායකයෙක්ම හිතා ගන්න ඕන මම නායකයෙක්ම නෙවෙයි, මම ජනතාවගේ දුක වෙනුවෙන් කටයුතු කරන දුක්ගන්නා රාල කෙනෙක් කියලා. එවිටයි රටේ ජනතාව ඒ නායකත්වයට ගරු කරන්නේ’ යැයි ආදිවාසි නායකයා පැවසීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *