වතු සේවක රුපියල් 1700 නැවතත් කරළියට
වතු සේවකයන්ට වැඩි කළ රුපියල් 1700ක වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.
වතු සේවකයන්ට වැඩි කළ වැටුප සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට පඩි පාලක සභාවට යොමුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පඩි පාලක සභාවෙන් කුමන තීරණයක් ගත්ත ද වැඩි කළ වැටුප ඒ ආකාරයෙන්ම ලබාදීමට කම්කරු ඇමැතිවරයා අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27 (2) යටතේ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
වතු සේවකයන්ගේ වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීම නිසා හාම්පුතුන් අධිකරණයට ගිය බවත් එම නිසා පඩි පාලක සභාවට එය මේ වන විට යොමු කර තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය. මෙම වැටුප් වැඩි කිරීම ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට සැලසුම් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම විවිධ අයුරින් මෙම මාතෘකාව කරළියට ගනිමින් වතු කම්කරු ජනතාවට විවිධ පොරොන්දු දුන් පාලකයින් නැවත වටයකින් එම ජනතාව රවටා තම ඡන්ද පදනම ස්ථාවර කරගත් ආකාරයක් දක්නට ලැබුණි. ජනාධිපතිවරණයට ආසන්නයේ මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම පිළිගත නොහැකි බව පවසන වතු වෘත්තීය සමිති වචනයෙන් නොව ක්‍රියාවෙන් වැටුප් වැඩිකර පෙන්වන ලෙස අමාත්‍යවරයාට සහ ආන්ඩුවට අභියෝග කර සිටී.