Latestදේශීය

බන්ධනාගාර නිළධාරියකුගේ නිවසේ රහසිගත කුටියක ආයුධ රැසක්

ගොත අසංක ඇතුළු පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනෙකුට සම්බන්ධ ගිනි අවි සහ පත‍ෙරාම් සඟවා තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයකු ගිනි අවි සහ පත‍ෙරාම් රැසක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පෙරේදා (10) අලුයම සමත්ව තිබේ.

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය කොටුවේගොඩ පිහිටි බන්ධනාගාර නියාමකවරයාගේ නි‍වසේ ඉහළ මහලේ රහස් කුටියක සඟවා තිබිය දී සොයාගත් ගිනි අවි සහ පත‍ෙරාම් අතර ටී 56 වර්ගයේ ගිනි අවි 01ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, ටී 56 අවිවලට යොදන පත‍ෙරාම් 350ක්, එම් 16 වර්ගයේ ගිනි අවිවලට යොදන පත‍ෙරාම් 09ක්, මිලිමීටර් 9 වර්ගයේ පත‍ෙරාම් 54ක් තිබී ඇත. මේ හැරුණු කොට හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 62ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 280ක්, කේරළ ගංජා මිලිග්‍රෑම් 700ක් සැකකරු සතුව තිබී සොයාගෙන තිබේ.

නි‍වසේ ඉහළ මහලේ රහස් කුටිය ඔහු විසින් සකස් කර ඇත්තේ ගිනි අවි සැඟවීමටම බව විමර්ශනයේ දී පෙනී ගොස් ඇත. ගිනි අවි සොයාගෙන ඇත්තේ කුළුගෙඩිවලින් එම රහස් කුටිය බිඳ දමාය. මෙම නි‍වස තවමත් ඉදිකරමින් පවතින එකකි.

බන්ධනාගාර මූලස්ථානයේ ප්‍රවාහන අංශයේ සේවයේ නිරත මෙම නියාමකවරයා මෙම අවි මෙහි සඟවා තබාගෙන සිටියේ යැයි ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ මාස තුනක කාලයක් තිස්සේ බව යැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ තොරතුරු සඳහන් කළේය.

මෙම ගිනි අවි සහ පත‍ෙරාම් ඉන්දියාවේ මේ වන විට සිටින ගොත අසංක නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ අවශ්‍යතා මත මෙහි සඟවා තබා ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 04 වෙනිදා සපුගස්කන්ද පොලිස් වසමේ සියඹලාපේ ප්‍රදේශය ආශ්‍රිතව කළ වැටලීමක දී ගොත අසංකගේ ගෝලයින් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබුණි. සියඹලාපේ මාහේනේ කළ වැටලීමක දී අත්අඩංගුවට ගත් ඒ එක් ගෝලයෙක් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 44යි මිලිග්‍රෑම් 400 ක් සමඟ විවිධ සමඟ විවිධ ප්‍රමාණයන්වල ගිනි අවි පත‍ෙරාම් 105ක්ද හමුවී තිබුණි. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්ද රුපියල් ලක්ෂයක් අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයාගෙන තිබුණි.

මෙම සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමෙන් අනතුරුව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන කළ ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු මත පසුගිය 09 වෙනිදා මල්වාන යටරලුවේ පදිංචිකරුවෙක් වන 34 හැවිරිදි අයෙකුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් රාගම කුරුකුලාවේ පිහිටි නිවෙසක දී අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සතුව තිබී පිස්තෝලයක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සොයාගෙන තිබේ. බන්ධනාගාර නියාමකවරයා ගැන තොරතුරු හෙළිවී ඇත්තේ මෙම සැකකරු ඇතුළු සෙසු සැකකරුවන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේදීය.

වයස අවුරුදු 44ක් වන මෙම බන්ධනාගාර නියාමක උදයංග නමැති අයෙකි. තවත් විශාල අවි ආයුධ තොගයක් මෙම බන්ධනාගාර නියාමකවරයාගේ අනුදැනුම මත සඟවා ඇති බවට සැකකරන තොරතුරු අනාවරණය වන බැවින් රඳවා ගැනීමේ නියෝගයක් ලබාගෙන ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බව කියැවෙන ගොත අසංක සමඟ බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධකම් පවත්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද එම නිලධාරියා කීය.

ගොත අසංක එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් සමඟ කිට්ටුවෙන් ඇසුරු කර ඇති අයෙක් මෙන්ම එල්.ටී.ටී.ඊ. යේ වෙඩික්කරුවන් යොදා පාතාලයේ කොන්ත්‍රාත් ඝාතන ද සිදුකර ඇති අයෙක් බව පොලිස් තොරතුරු සඳහන් කළේය. යුද්ධය අවසන් වීමෙන් අනතුරුව උතුරේ වළ දමා ඇති ගිනි අවි එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් සමඟ එක්ව ගොඩගෙන දකුණේ පාතාලයට අලෙවි කිරීමේ ජාවාරමකටද ගොත අසංක සම්බන්ධව සිටි බව ද තොරතුරු විවිධ අපරාධ මර්දන පොලිස් කණ්ඩායම් විසින් පසුගිය කාලයේ කළ විමර්ශනවලින්ද හෙළි කරගෙන තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ පූර්ණ උපදෙස් මත බුද්ධි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර, උප පොලිස් පරීක්ෂක වනිගසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *