Latestදේශීය

පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කිරීමට 21 සූදානම් – හිනිඳුම සුනිල් සෙනෙවි

ජනතාව සැප්තැම්බර් 21 දා තමන් පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කිරීමට සූදානමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ පසුගිය 10 වනදා ඇඹිලිපිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මහ රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් ජනතාව ඇමතූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සබරගමු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි,

“ජාතික පුනරුදයක් අවශ්‍ය වෙන මොහොතක, ඒ පුනරුදය ගොඩනගන්න එකම සුදුසුකම තිබෙන, අපේ කාලයේ විශිෂ්ටතම දේශපාලන ව්‍යාපාරය ගොඩනඟන්න ඔබට, අපට හැකි වුණා. එහි ශක්තිය තමයි ඔබ. මේ මොහොතේ ශ්‍රී ලංකා භූමිය දෙස බැලුවම සෑම අතකින්ම ගරා වැටුණු, හැම අතකින්ම බිඳ වට්ටවපු මගේ රට, මහා ඛේදවාචකයකට තල්ලු කළ ඔබේ රට ගොඩගන්න, ගොඩනඟන්න පුළුවන් එකම ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. අනෙකුත් දේශපාලන ව්‍යාපාර දිහා බලන්න. ඔවුන්ට අද වචන පටලැවෙන්නේ නැතිව, වැකියක් පටලැවෙන්නේ නැතිව කියා ගන්න බැහැ. ඒකට හේතුව ඒගොල්ලන් ගත කරපු දූෂිත, අශිෂ්ට දේශපාලන සංස්කෘතිය. මම සති දෙකක්, ජනමාධ්‍යයට සවන්දීලා ලියා ගත්ත වැකි ටිකක් ඉදිරිපත් කරන්නම්.

“එයාලා එහෙ ගියාට ඡන්ද තියෙන්නේ මහින්ද මහත්තයා ළඟ” ජොන්ස්ටන්. “පොහොට්ටුව රැකගන්න මහින්ද මහත්තයා ආයෙත් ජනාධිපති කරනවා” ප්‍රසන්න රණතුංග කියනවා. ඔබ හිතලා බලන්න ඔහු හිටියේ කොතනද, දැන් ඉන්නේ කොතනද? මේ කියන්නේ මොකක්ද කියලා. “පොහොට්ටුව කුමන්ත්‍රණකාරී වැඩක් කළේ. අපි නිවැරදි තැනක නතර වුණා” පියල් නිශාන්ත. “අපිව ප්‍රතික්ෂේප කළ නිසා තමයි රට බංකොළොත් වුණේ” රවි කරුණානායක. “ඉතුරුවෙන කෙනත් එක්ක මම දේශපාලනය කරනවා” නාමල් රාජපක්ෂ. “එස්.එම්. චන්ද්‍රසේන නිසා ෂෙහාන් මා එක්ක තරහ වුණා. අපිට දුකයි” නාමල් රාජපක්ෂ. “92ක් කොහොද එහේ. මෙහෙ අයත් එතන හිටියා” “මහින්ද රාජපක්ෂ නැතිව චන්ද කරන්න නම් බැහැ” ජොන්ස්ටන් ප්‍රනාන්දු. “මමත් ගාල්ලෙනෙ. තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති කරනවාද නැද්ද කියලා සැප්තැම්බර් 21 ජනතාව තීරණය කරන්න” වජිර අබේවර්ධන. “අන්තිමට මට මේක තනියම කරන්න බෑ. ටීම් එකක් තියෙන්න ඕනෑ. ටීම් එකක් හදාගන්න කියමු රනිල් වික්‍රමසිංහට. අපි නොවෙයි ආණ්ඩුව බෙදුවෙ. වැරැද්ද වුණේ රනිල්ගෙ කණ්ඩායමෙන්” නාමල් රාජපක්ෂ.

ඔබ හිතලා බලන්න. අපි මොනවද මේ අහන්නේ කියලා. මේක තමයි මේ වෙලාවේ තිබෙන උන්මත්තක දේශපාලනයේ ශේෂ පත්‍රය. අවුරුදු 76ක් ඇවෑමෙන් ඔවුන් ඉතිරිකර ගත්තු දේශපාලන ශේෂ පත්‍රය තමයි මේක. “ජනාධිපතිටයි මටයි දෙන්නටම ජනාධිපතිකම ඉල්ලන්න බැහැ. ඒ නිසා මම අස්වුණා” විජේදාස රාජපක්ෂ. “අපේක්ෂකයන් තුන්දෙනෙකුට සහාය දෙන එකම පක්ෂය තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය” මේ පක්ෂයට ගියපු කල. දයාසිරි ජයසේකර මෙහෙම කිවුවා. දයාසිරි ජයසේකර ඔබ ගැනත් කිවුවා. ඔහුගෙන් නිවේදකයෙක් අහනවා “ඔබතුමන්ලා මේ විදිහට තැනින් තැනට පැනලා යනකොට, ජනතාවත් එහෙම යයිද?” දයාසිරි ජයසේකර කියනවා අපේ ගමන අපි යනවා, ජනතාවත් පනිනවා නම්, පනීවි.” “අපේ පැත්තෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා” කිව්වේ, බන්දුල ගුණවර්ධන. පොල්ලෙල්ලක් දිනවන්න අපි කවුද?

ජනතාව ඉන්නේ සිහිබුද්ධියෙන්. ඒ නිසයි මේ භූමිය පිරී ඉතිරී තිබෙන්නේ. ඒ ගොල්ලෝ උම්මත්තක වුණාට ශ්‍රී ලංකාවේ ජනතාව එක මොහොතකදී තමන් පරිපූර්ණ පුරවැසියන් බව ඔප්පු කරන්න සූදානම්. ඒ මොහොත එළඹෙන්නේ සැප්තැම්බර් මාසයේ 21 දාට. වෛරී දේශපාලනයට, මුදලට විකිණෙන එකට අපි තිත තියන්න ඕනෑ. මනුෂ්‍ය ඝාතන පෙරදැරිකරගත් දේශපාලනය, ආර්ථික ඝාතන, සංස්කෘතික ඝාතන නිම කරන්නට සැප්තැම්බර් 21 බුද්ධිමත් තීරණයක් ගන්න ඕනෑ.

මෛත්‍රීපාල සිරිසේන කිවුවා, එක මන්ත්‍රීවරයෙකුගේ ගාණ මිලියන 500ක් වුණු නිසා එයාලට 113 හදාගන්න බැරි වුණා කියලා. ඒ ප්‍රකාශයම ප්‍රමාණවත් ඔහුව අත්අඩංගුවට ගන්න. ඒ ප්‍රසිද්ධ අල්ලස් ගැන ඔහු පිළිගනිමින් කළ කතාවයි. මිලියන 500ක් එක මන්ත්‍රීවරයෙකුට දුන්නේ කවුද? අනධ්‍යයන සේවක සේවකයන්ගේ ප්‍රශ්නයට, මේ රටේ ජාතික විශ්වවිද්‍යාල 17ම මාස තුනක් වසා තිබ්බා. ඒ විදිහට මාස තුනක් වසා තිබුණේ ප්‍රශ්නය විසඳන්න මිලියන 400ක් නැතිව. එක චණ්ඩි මන්ත්‍රීවරයෙකුට මිලියන 500ක්. මේ දේශපාලනයට තිත තියන්න ඕන නැද්ද? සැප්තැම්බර් 21 මේ රටේ කාන්තාව නිදහස් වෙන දවස. ගොවියා, කම්කරුවා, ලිපිකරුවා, මහාචාර්යවරයා, විද්වතා නිදහස් වෙන දවස. ඔබ සූදානම් වෙන්න ඕනෑ මේ මහා ජනතා රජය ඇති කරන්න. අනුර කුමාර සහෝදරයා මහා වැඩි ඡන්ද ප්‍රමාණයකින්, තෝරා ගන්නා මහා ජනතා පෙරළියට, මහා විප්ලවයට ඔබ සූදානම් වෙන්න. ඔහු ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිගරු කෑල්ල අතහැරලා, කටපුරා ජනාධිපති සහෝදරයා කියන්න පුළුවන් කෙනෙක්. අපේ ජීවිතයේ කොටසක් වගේ දැනෙන අනුර දිසානායක සහෝදරයා ජනාධිපති හැටියට තෝරා ගෙන මේ රට මහා පුනරුදයකට පෙළගස්වන මහා මංගල්‍යය සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *