Latestදේශීය

රටේ දුක නිවාලන යුගයක් නිර්මාණය කරනවා – සජිත් ප්‍රේමදාස

(චන්ද්‍රසිරි ගුණසේකර)

මෙම ජනාධිපතිවරණයේදී මුළු දකුණු පළාතම ජයග්‍රහණය කොට ජනබලයෙන් ජනසවියෙන් අපේ රටේ දුක නිවාලන යුගයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා. ඒ වගේම ආරම්භයක් හැටියට එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (11) ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති සමගි ජන බලවේගයේ “ජනපවුර” ගාල්ල දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම ජන රැලිය සංවිධානය කර තිබිණි.

වැඩිදුරටත් ජනතාව ඇමතූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

මම මේ රටේ ජනතාවටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවටත් ප්‍රකාශ කරනවා වගකීම මටත් මගේ කණ්ඩායමටත් භාරදෙන්න. රටට අවශ්‍ය ඩොලර් ටික, රුපියල් ටික, සම්පත් ටික කොහොමහරි අප ලබාගන්නවා.

ගාල්ල දිස්ත්‍රික්කය ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන දිස්ත්‍රික්කය බවට අපි පරිවර්තනය කරනවා. ආරම්භයක් හැටියට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හෝ ආරම්භ කිරීමට අප සැලසුම් කරනවා.

‘සමගි ජන බලවේගය ප්‍රධාන වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන ජනතාවාදීත්වයට මුල් තැන දෙන ජාතිකත්වය කේන්ද්‍ර කරගත් නූතනවාදී දේශපාලන පක්ෂයක්. ප්‍රෝඩාව මුලාව කේන්ද්‍ර කරගෙන ජනතාව අන්දවන ජනතාව රවටන ප්‍රෝඩාකාරී දේශපාලනය අපි ක්‍රියාත්මක කරන්නේ නෑ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමේ, කුඩා ගම්මාන, කුඩා නගර මට්ටමේ දැවැන්ත සංවර්ධන වැඩසටහනක් අපි නිර්මාණය කර අවසන්. එහි වගකීම මටත් මගේ කණ්ඩායමටත් භාර දෙන්න. රටට අවශ්‍ය ඩොලර්, රුපියල් ඇතුළු සම්පත් කොහොම හරි ලබාගන්නවා. මේ රටේ හැත්තෑ හය වසරක දේශපාලන ඉතිහාසයේ බලයක් නැතිව, තනතුරු, රාජ්‍ය වරදාන, වරප්‍රසාද නැතිව සෞඛ්‍යය, අධ්‍යාපන ක්ෂේත්‍ර ගොඩනඟන්න අප විපක්ෂයේ සිට කටයුතු කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරනවා. පළාත් පාලන කොට්ඨාස 270ක් ග්‍රාම නිලධාරී කොට්ඨාස 895ක් දියුණු කරන බිම් මට්ටමේ සංවර්ධන සැලැස්මක් මුළු රටටත් ගාල්ල දිස්ත්‍රික්කයටත් ක්‍රියාත්මක කරනවා.

අප කෙටි කාලීන තීන්දු ගන්නේ නෑ. වරදාන වරප්‍රසාද බලාගෙන තීන්දු තීරණ ගන්නෙත් නෑ. රට සහ දරු පරපුර ගැන සිතා කටයුතු කරනවා. පොදු ජනතාවගේ ජනාධිපතිවරයෙක් මිස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් වීමට මා බලාපොරොත්තු නෑ. පොදු ජනතාවගේ ශක්තිය සහ ආශිර්වාදය තුළින් ජයග්‍රහණය කරනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ආසනවලින් විශාල ජනකායක් මෙම රැස්වීම සඳහා පැමිණ සිටි අතර සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි, ශාන් විජයලාල් ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, ආචාර්ය හර්ෂ ද සිල්වා, නලින් බණ්ඩාර යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද සභාව ඇමතූහ.

මෙහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් සහ හිටපු මන්ත්‍රීවරු තිදෙනෙක්ද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරු දෙදෙනෙක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහායට එක්වීම විශේෂ සිද්ධියක් විය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *