Latestවිදේශීය

බංගලාදේශයේ හින්දුන්ගේ ජීවිත රැකදෙන්න

බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ සුළුතර හින්දු ජාතිකයන් ආරක්ෂා කරන ලෙස අමෙරිකාවේ හින්දු බැතිමතුන් එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ අගමැතිනිය ශෙයික් හසීනා ධුරය හැර යෑමෙන් පසු එරට හින්දු ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය දරුණු ලෙස උත්සන්න වී ඇති බවත්, ඊට එරෙහිව මේ වන විට එරට සිටින හින්දු බැතිමතුන් දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බවත් අමෙරිකාවේ ක්‍රියාක්මක වන උතුරු අමෙරිකානු හින්දුවරුන්ගේ සන්ධානය එම ඉල්ලීම කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය දින කිහිපය තුළ බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් පිරිසක් ඝාතනයට ලක් වී ඇතැයි ද, හින්දු ජාතිකයන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථාන ද, හින්දු කෝවිල් ද ප්‍රහාරයට හා ගිනි තැබීම්වලට ලක්වී ඇතැයි ද එම සන්ධානය අමෙරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බංග්ලාදේශයේ මිලියන 170ක ජනගහනයෙන් 8% ක පමණ නියෝජනයක් ඇති හින්දු ජාතිකයන්ගෙන් බහුතරයක් ශෙයික් හසීනාට සහ අවාමි ලීග් රජයට සහාය පළ කිරීම එම ප්‍රහාරයට හේතු වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. එරට දිස්ත්‍රික් 52ක පුරා අවම වශයෙන් හින්දු ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර 200කට අධික ප්‍රමාණයක් සිදුවී ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත් සේවය වාර්තා

කළේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *