Latestදේශීය

මාධ්‍ය නාලිකාවලට අපේ ව්‍යාපාරය නටවන්න බැහැ – අනුර දිසානායක

ජාතික ජන බලවේගය පෙනී ඉන්නේ කැත මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (13) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය උපාලි පන්නිලගේ යන අයද සහභාගී වී සිටියහ.

“අපේ මැතිවරණ ව්‍යාපාරය 17වැනි සෙනසුරාදා ආරම්භ කිරීමට තීරණය කොට තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත්, මාතර නගරයේදීත්, ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහ රැලි තුනක් පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා. ඉන්පසුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ වගේම නගරවල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලාවක් සූදානම් කර තිබෙනවා. ඒ වගේම නිවෙස් ආශ්‍රිතව කරන ගෘහස්ත සාකච්ඡා ගෙයින් ගෙට ගොස් කරන ජනතාව දැනුම්වත් කිරීම් අපගේ මැතිවරණ ව්‍යාපාරයට ඇතුළත් කොට තිබෙනවා.

මේ වන විටත් අපි ලංකාවේ ගෙවල් 50%කට වැඩි ප්‍රමාණයක් ආවරණය කර තිබෙනවා. ඒ වගේම අපි, මේ කාලය ඇතුළත අවම වශයෙන් සෑම නිවසකටම දෙපාරක් යන්න සැලසුම්කර තිබෙනවා. මේ 15වැනිදා සිට නිවෙස්වලට ගොස් පුරවැසියන් මුණගැසීමේ කැන්වසින් ව්‍යාපාරය ආරම්භ කරනවා. එහිදී සෑම නිවසකටම මූලික ප්‍රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යාම සඳහා කුඩා පත්තරයක් බෙදීමට සැලසුම්කොට තිබෙනවා. ලංකාවේ ප්‍රබලතම හා සාර්ථක කැන්වසින් ව්‍යාපාරය දියත් කරන්නේ අපි. ඒ වගේම අපේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්න සූදානමින් ඉන්නවා. මේ වන විටත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගණනාවක් එළිදක්වා තිබෙනවා. ක්ෂේත්‍ර පහක් කේන්ද්‍රකරගෙන ඉංජිනේරු ප්‍රතිපත්තිය මේ වන විටත් එළිදක්වා තිබෙනවා. ඒ වගේම ආබාධිතභාවයට පත්වූවන් රැකබලා ගන්නේ කොහොමද, ඔවුන්ට උසස් සමාජ තත්වයක්, ගෞරවණීය ජීවිතයක් උරුමකර දෙන්නේ කොහොමද කියන කරුණු සහිත ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබෙනවා. ඒ වගේම මේ රට ඉදිරියට ගෙනයාමේදී ඉතා වැදගත් අයි.ටී. ක්ෂේත්‍රයට අදාළ ප්‍රතිපත්ති සැලසුම (13) පස්වරුවේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ලබන 15දා බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයත්, 26දා සංචාරක කර්මාන්තය සම්බන්ධ වැඩපිළිවෙළත් ඉදිරිපත් කරනවා. රට මුහුණදී තිබෙන ඩොලර් අර්බුදයට කෙටිකාලීන විසඳුම් සොයාගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය හැටියට සංචාරක කර්මාන්තය අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සැප්තැම්බර් 03 වැනිදා එළිදක්වනවා. විශාල ව්‍යාපාරික සමුළුවක් පවත්වා එය එළිදැක්වීමට කටයුතු කරනවා. ඒ වගේම ග්‍රාමීය දුප්පත් ජනතාව ආර්ථිකයේ ප්‍රධාන පංගුකරුවන් බවට පත්කර ගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර, යන මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් ඉදිරියට සංවර්ධනය කිරීම පිළිබඳව මූලික අවධානය යොමුකර තිබෙනවා. ක්ෂේත්‍ර ගණනාවක සමාජ ආර්ථික සහ සංස්කෘතික වැදගත්කම් ගැන මූලික වශයෙන් සලකා බලමින් මේ සියල්ල කැටිකර මැතිවරණ ප්‍රකාශනය එළඹෙන අගෝස්තු 26වැනිදා ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා.

මේ මැතිවරණය දක්වා ජාතික ජන බලවේගය හැටියට ඉතාමත්ම සංවිධානාත්මක පියවරයන් පසුකරමින් අපි පැමිණියා. ගම් මට්ටමේ ජීවත්වන ජනතාවට අපේ පණිවිඩය ගෙනයාමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනඟාගනිමින් එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව වෙන වෙනම සංවිධාන පිහිටුවනු ලැබුවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, විශ්‍රාමික පොලිස් නිලධාරීන්, ආබාධිත වූවන්, වැඩකරන ජනතාව, විද්වතුන්, ව්‍යාපාරිකයින් ආදී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සමාජය සංවිධානය කරමින් මේ දක්වා ඉදිරියට පැමිණියා. ශක්තිමත් යාන්ත්‍රණයක් වගේම ශක්තිමත් වැඩපිළිවෙළක් එක්ක අපි මේ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රවේශවී සිටිනවා. ඒ වගේම රට ගොඩගත හැකි ශක්තිමත් සංවිධානාත්මක කණ්ඩායමක් එක්ක අපි මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා.

එහෙත් අනෙක් දේශපාලන පක්ෂවල ප්‍රවේශය වෙලා තිබෙන්නේ මොකක්ද? එහාට මෙහාට පනින එක සහ එහෙන් මෙහන් පනින අය එකතු කර ගන්නා දේශපාලන සංස්කෘතියයි. පසුගිය ඡන්දවලදී ප්‍රතිවිරුද්ධ පිළේ සිට එකිනෙකාට විරුද්ධව ප්‍රහාර එල්ල කරගත් අය එකට එකතු වෙලා ගණවයාගන්න කැත දේශපාලන සංස්කෘතියක පුරෝගාමීන් හැටියටයි ඔවුන් නියෝජනය කරන්නේ. ජාතික ජන බලවේගය ඉන්නේ එවැනි කැත දේශපාන සංස්කෘතියක නොවෙයි. එහෙන් මෙහෙන් පනින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රවේශයයි. පනින අය එකතු කරගෙන මාධ්‍ය තුළින් බ්රේකින් නිවුස් ගහගන්න ප්‍රතිපත්තියක් නොවෙයි අපිට තිබෙන්නේ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේදී මාධ්‍යවලටත් විශාල වගකීමක් තිබෙනවා. මේ දක්වා පැමිණි සංවිධානාත්මක දේශපාලන ගමන් මගේ ජයග්‍රාහී විශ්වාසයක් සහිතව සියලු සාධක සම්පූර්ණ කරගත් ප්‍රශස්ත වැඩපිළිවෙළක් සහිතව අපි මේ මැතිවරණ ව්‍යාපාරයට අවතීරණය වී තිබෙනවා.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:

ප්‍රශ්නය: සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යා හැකි වේ යැයි ඔබ විශ්වාස කරනවාද?

පිළිතුර: රනිල් වික්‍රමසිංහ මේ වන විටත් ජනාධිපති ධුරය උපයෝගී කරගෙන රාජ්‍ය මුදල්, රාජ්‍ය වාහන, රජයේ කාර්යාල සහ රාජ්‍ය නිලධාරීන් ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබෙනවා. විපක්ෂ නායකත් එහෙමයි. විපක්ෂ නායක කාර්යාලය ජනාධිපතිවරණ කැම්පේන් එකට යොදා ගනිමින් ඉන්නවා. ඒ සියලු දෙනා රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපළ යොදවා ගනිමින් කටයුතු කරන ආකාරය කාටත් දකින්න ලැබෙනවා. ඒ වගේම අදාළ ප්‍රචාර ලබාදීමේදී සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ කාලයක් ලබාදීමේ වගකීම මාධ්‍යයටත් පැවරී තිබෙනවා. නමුත් සමහර මාධ්‍ය ආයතන තමන් විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයන් ප්‍රවර්ධනයට තමන්ගේ මුළු මාධ්‍ය ජාලයම යොදවනවා. ඒ වගේම තමන් තෝරා ගත් අපේක්ෂකයාට අභියෝගයක් වන්නේ යැයි කල්පනා කරන අනෙක් දේශපාලන කඳවුරට අසත්‍ය, අභූත චෝදනා එල්ල කරමින් තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා එයත් බාධාවක්. ඒ වගේම මේ වනවිටත් ඡන්දදායකයන්ට අල්ලස්දීමේ ක්‍රියාවලියකුත් ආරම්භ කර තිබෙනවා.
නමුත් බරපතළ ගැටුම්කාරී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් ඇතිවෙයි කියලා අපි හිතන්නේ නැහැ. එවැනි ප්‍රවේශයක් ගන්න නම් ආණ්ඩුවට යම් මහජන බලයක් තිබෙන්න ඕනෑ. මහජන බලය ශූන්‍ය වූ දේශපාලන ව්‍යාපාරයකට එවැන්නක් කිසිසේත් කරන්න බැහැ. කෙසේ වෙතත් පොදුවේ මැතිවරණ ව්‍යාපාරය සාධාරණ වෙයි කියා අපි හිතන්නේ නැහැ. අපි උපරිමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශ කර ගැනීමට පසුබිම සකස් කරමින් මැතිවරණ ක්‍රියාවලියේ යෙදෙනවා.

ප්‍රශ්නය: ඔබේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් මතුවී තිබෙනවාද?

පිළිතුර: අපි ඒ ගැන වැඩිය සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා සාධාරණ මැතිවරණවලට තරග වදින්න. රටේ ජනතාව නියෝජනය කරන්න. නමුත් මාධ්‍යවේදියෙක් හැටියට ඔබට මෙවැනි ප්‍රශ්නයක් නගන තරමට ප්‍රශ්නයක් මතුවී තිබෙනවා නම්, එය ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නොවෙයි. කවර හෝ දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක්ට මේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහුව ඝාතනයට ලක්වේ යැයි මතයක් නිර්මාණය වෙනවා නම් ඒ දේශපාලනය පරාජය කරන්න ඕන නැද්ද? ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය සාධාරණ ලෙස ප්‍රකාශයට පත්කරන්නත්, මැතිවරණවලට ඉදිරිපත් වෙන්නත් අවස්ථාව තිබෙන්න ඕනෑ.

ප්‍රශ්නය :- ජාතික ජන බලවේගයේ ඉන්නේ මහජනතාවට පුරුදු මුහුණු තිබෙන පිරිසක් නොවෙයි නේද?

පිළිතුර :- දැන් ඉන්න අනෙක් පුරුදු මුහුණු කවුද? මහ බැංකුවට ගහපු මුහුණු පුරුදුයි. ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගත්ත මුහුණු පුරුදුයි. ආණ්ඩුවේ කොන්ත්‍රාත්වලින් හොරකම් කරන මුහුණු ටික පුරුදුයි. සීනි බදුවලින් වංචා කළ මුහුණු ටික පුරුදුයි. මහ බැංකු බැඳුම්කරවලින් සල්ලි බෙදා ගත්ත අය පුරුදුයි. ඒ ඇයි? බැංදුම්කර හොරකම සම්බන්ධයෙන් පොතක් ලිවීමට රුපියල් ලක්ෂ 30ක් ගත්තා කියලා ඡායාරූපයත් එක්ක පත්තරයේ ප්‍රධාන ප්‍රවෘත්ති පළ වෙනකොට ප්‍රවෘත්තියක් දකිනවා, මුහුණත් දකිනවා. ඒ අය පුරුදුයි. මහජනයාගෙන් කප්පම් අරගෙන අවුරුදු හතරකට ඇඟ බැඳලා කෝටි දෙකහමාරක දඩයක් ගෙවන්නත් නියම වූ, කෝටි දෙකක වන්දියක් ගෙවන්නත් නියම වූ ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් පළවෙනවා. ඒ මුහුණු පුරුදුයි. බන්ධනාගාරයට පැන සිරකරුවන් එළියට ගෙන පිස්තෝලය හිසට තබා තර්ජනය කළ රත්වත්තේගේ ප්‍රවෘත්තියක් යන කොට ඔහුගේ මුහුණ පුරුදුයි. නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මාංචු දමාගෙන මහාධිකරණයට යන ඡායාරූප පළ වුනාම ඒ මුහුණු පුරුදුයි. ජනතාවට ඒ මුහුණු ගොඩක් හුරුවී තිබෙන්නේ අපරාධ කරලා. මහජනයාගේ ධනය නාස්ති කරලා. ඒ වගේ මුහුණු අපිට නැති බව ඇත්ත. නමුත් ගමක කැන්වසින් ව්‍යාපාරයක යෙදෙනවා නම්, ඒ ගමේ පිළිගන්න සමාජයට බලපෑම් කළ හැකි කණ්ඩායමක් අපි ළඟ ඉන්නවා. නමුත් ඒ අයගේ නම් ප්‍රසිද්ධ වෙලා නැහැ. අනෙක් පැත්තේ අයගේ නම් ප්‍රසිද්ධ වී තිබෙන්නේ වංචා සහ හොරකම් සම්බන්ධයෙන්.

ප්‍රශ්නය :- කේ.ඩී. ලාල්කාන්ත පොලිස් ඇමති ධුරය ඉල්ලූ බවට ප්‍රචාරයක් යනවා. එහි සත්‍යතාවයක් තිබෙනවාද?

පිළිතුර :- යම් නාලිකාවක් අපෙන් ඔය ප්‍රශ්නය අහන්න කියලා එස්.එම්.එස්. පණිවිඩයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට යවපු එකක් මම දැක්කා. ඒ ප්‍රශ්නය අහපු එක ගැන බොහොම සතුටුයි. මම මුලින් හිතුවේ ඒ එස්.එම්.එස්. පණිවිඩය බොරු එකක් කියලා. ලාල්කාන්ත සහෝදරයාගෙන් පොලිස් අමාත්‍ය ධුරය ලැබෙනවාද කියලා අහන්න යැයි මාධ්‍ය නාලිකාවකින් යැවූ එස්.එම්.එස්. පණිවිඩය ඇත්ත බව දැන් තහවුරුයි. මේ මාධ්‍ය හැසිරෙන්නේ එහෙම. මාධ්‍ය නාලිකාවලට අපේ ව්‍යාපාරය නටවන්න බැහැ. මාධ්‍යවල තිබෙන යටි උවමනාවලට අපි ගොදුරු වෙන්නේ නැහැ.

ප්‍රශ්නය :- 88/89 සම්බන්ධයෙන් යළිත් ප්‍රචාර දියත්කරමින් තිබෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර :- අවස්ථා ගණනාවකදී අපි ඒ පිළිබඳව පැහැදිළි කිරීම් කර තිබෙනවා. අපේ අතින් සිදු නොවිය යුතු සිදුවීම් පිළිබඳව අපේ කණගාටුවත් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර තිබෙනවා. තවදුරටත් මේ ප්‍රශ්නය අහන්නේ අවංකව නොවෙයි. කවර හෝ කෙනෙකුට ඒ ඉතිහාසය නිරාකරනය කර ගැනීම සඳහා ප්‍රශ්නය අහනවා නම්, තවදුරටත් පැහැදිලි කර දෙන්න අපි ලැහැස්තියි. නමුත් බොහෝ විට මේ ප්‍රශ්නය අහන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය නොදී සිටීමට තීරණය කර තිබෙන අය ඒ තීරණය සාධාරණීය කරනය කර ගැනීමට සමාජයට කියන්න ඔය ඉතිහාසය උපයෝගී කරගෙන තිබෙනවා. අපි 1994 ඉඳලා අවුරුදු 30ක් එක ගල් කැටයක් අතින් නොගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ රැඳී සිටිනවා. අපේ සහෝදරවරු ගණනාවක් මේ කාලය තුළ ඝාතනය කළා. අපේ නලින්ද සහෝදරයා සහභාගී වූ රැස්වීමකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කළ අපරාධකරුවන්, මිනීවරුවන් අධිකරණවලින් නිදහස් කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් සම්මත කරගෙන තිබෙනවා. එවැනි කණ්ඩායම් අපට ඇඟිල්ල දිගු කිරීම තවදුරටත් වලංගු නැහැ. එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න කෙනෙකුට හැර සාධාරණව කල්පනා කරන අය මේ ප්‍රශ්නය මතු නොකරන බවයි අපේ විශ්වාසය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *