Latestවිදේශීය

බ්‍රිතාන්‍ය කෝටිපතියාගේ සහ තවත් 4 දෙනෙකුගේ සිරුරු ගොඩගනී

ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේදී ටොනේඩෝ කුණාටුවකට හසුවී මුහුදුබත් වූ ‘බයේසියන්‘ සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරික මයික් ලින්ච් ඇතුළු පුද්ගලයන් 5 දෙනකුගේ මළ සිරුරු දින තුනකට පසු ගොඩ ගැනීමට ඉතාලි වෙරළාරක්ෂක බළකාය සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ඔවුන් සමඟ අතුරුදන්වූ ප්‍රකෝටිපතියාගේ 18 හැවිරිදි දියණියගේ සිරුර මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සිසිලි දූපත ආසන්නයේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත් වූ බයේසියන් යාත්‍රාවේ මෙහෙයුම් සඳහා කිමිදුම්කරුවන් ඇතුළු කණ්ඩායම් රැසක් එක්වී තිබිණි.

පියා සහ දියණිය

පියා සහ දියණිය

පසුගිය සඳුදා උදෑසන 5.00ට පමණ යාත්‍රාව අනතුරට ලක්වන විට ඔවුන් සිය කැබින් කාමරවල තද නින්දේ පසුවූ බවට වාර්තා වන අතර, එම කැබින් කාමර බාහිර උපද්‍රවවලින් ආරක්ෂාකාරීවීමට වාතය පිරුණු සීල් තැබූ ආකාරයේ කාමර බැවින් ඔවුන්ගේ ජීවිත ගැන බලාපොරොත්තු තබා ගත හැකි බවට සාගර විපත් පිළිබඳ විශේෂඥවරුන් අනාවැකි පළ කර තිබිණි. එහෙත් අනතුරට පෙර දින රාත්‍රියේ සිසිලියා දූපත අවට සෙල්සියස් අංශක 33කට වැඩි උෂ්ණත්වයක් පැවති බැවින් යාත්‍රාවේ කැබින් කාමරවල කවුළු හැර දමා තිබූ බව අනාවරණය වී ඇති අතර, ටොනේඩෝ සුළි කුණාටුවට හසුවීමෙන් මිනිත්තුවක් පමණ කෙටි කාලයකින් යාත්‍රාව ගිලී යෑමටත්, කැබින් කාමරවල සිටි පුද්ගලයන් නින්දේදීම ක්ෂණික මරණයට ගොදුරු වීමට එය ප්‍රබල සාධකයක් වූ බවට කරුණු අනාවරණය වී තිබේ.

පැය 72ක දුෂ්කර මෙහෙයුමකින් පසු කිමිඳුම්කරුවන් විසින් ගොඩ ගනු ලැබූ මළ සිරුරු අතර බ්‍රිතානයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික 59 හැවිරිදි මයික් ලින්ච් සමඟ ඔහුගේ සමීපතම මිතුරන් වන ලෝක ප්‍රකට මෝගන් ස්ටැන්ලි බැංකු ජාලයේ සභාපති ජොනතන් බ්ලූමර් සහ ඔහුගේ බිරිය, බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නීතිඥවරයකු වන ක්‍රිස්ටෝපර් මෝවිල් සහ ඔහුගේ බිරිය වන ප්‍රකට ආභරණ නිර්මාණ ශිල්පිනිය නේඩා මෝවිලෝගේද මළ සිරුරු ද තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවද ඉතාලි නීතියට අනුව පවුලේ සාමාජිකයකු හෝ සමීපතමයකු මළ සිරුර හඳුනා ගන්නා තුරු ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකිරිමට රජය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මගීන් 12 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනකු රැගත් බයේසියන් මගී යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි මයික් ලින්ච්ගේ බිරිය ඇතුළු පුද්ගලයන් 15 දෙනකු ඒ අසලින් ගමන් කළ යාත්‍රාවකින් බේරා ගෙන තිබිණි. අතුරුදන් වූ 7 දෙනාගෙන් යාත්‍රාවේ අරක්කැමියා බව කියන ඇන්ටිගුවා ජාතිකයකුගේ මළසිරුර එදිනම පස්වරුවේ හමුවී තිබිණි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *