Latestදේශීය

ජනාධිපතිධූරය දැරීමට රනිල් නුසුදුසු බව නැවත වරක් තහවුරු වුණා – හරිනි අමරසූරිය

ජනාධිපති ධුරය දැරීමට රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

ඇය මේ බව අවධාරණය කළේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (23) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය,

“තීරණාත්මක සහ ඓතිහාසික නඩු තීන්දුව පිළිබඳව ප්‍රධාන කාරණා තුනක් මතු කරන්න මම කැමැතියි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම පිළිබඳව මෙම නඩු තීන්දුවෙන් ශක්තිමත් සහතිකයක් දී තිබෙනවා. එය ඉදිරි අනාගතයටත්, දේශපාලනයටත් අතිශයින්ම වැදගත්. අධිකරණය විසින් සනාථ කරන අන්දමට ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන ජනතාවගේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට තිබෙන අයිතිය ජනාධිපතිගේ මැදිහත් වීමෙන් කඩ කර ඇති බව පෙන්නුම් කර තිබෙනවා. දේශපාලන හේතු මත ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් අත්හැර දමා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කර තිබීම නිසා මෙය අතිශයින් වැදගත් නඩු තීන්දුවක්. පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් අතිශයින්ම පරිස්සම් විය යුතු බව මේ නඩු තීන්දුවෙන් තහවුරු වෙනවා. ජනාධිපතිගේ හැසිරීම වුවත්, ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැණි නියෝග පිළිනොපැදිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිගේ නියෝග අනුව මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති ආකාරය වැරැදි බව තීන්දුවෙන් සනාථ කර තිබෙනවා. ඒ නිසා නිලධාරීන්ටත් ඉතාමත් තද පණිවුඩයක් ගරු අධිකරණය විසින් ලබා දී තිබෙනවා.

ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන්න ආර්ථික අර්බුදය ඉස්මතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව මෙම තීන්දුවෙන් පැහැදිලි කර තිබෙනවා. කෙතරම් අසීරු තත්වයක් තුළ වුවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න ආණ්ඩුවක් බැඳී සිටින බව තහවුරු කර තිබෙනවා. ඒ වාගේම ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනතාව නොවන බවත්, ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ කළමනාකරණ දුර්වලතා නිසා බවත් එම තීන්දුවෙන් තහවුරු කර තිබෙනවා. ජනතාවගේ ඡන්ද අයිතිය සීමා කරන්න ආණ්ඩුවකට හෝ ජනාධිපතිට හෝ නොහැකි බව පැහැදිලිව දක්වා තිබෙනවා. අවසාන වශයෙන් අපට කියන්න තිබෙන්නේ ජනාධිපති ධුරය දරන්න රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු කර ඇති බවයි. වචනවලින්, සංකල්පවලින් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායය ගැන වාගේම ව්‍යවස්ථාව ගැන ඔහු කතා කරන්නේ අපටත් කරුණු උගන්වන්න වාගෙයි. ඔහු පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ අපි කවුරුත් මොකුත් නොදන්නා ගාණටයි. ඔහු තරම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නැති බවයි බොරුවට පෙන්වන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තව මාසයයි තියෙන්නේ. ඔහුගේ ජනාධිපති සිහින දැනටමත් ඉවර වෙලා. මේ නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වෙන්නේ මේ රටටත්, ජනතාවටත් නායකත්වය දෙන්න නුසුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ බවයි.

ජනාධිපතිවරණයක් අතළඟ නොතිබුණා නම්, රනිල් වික්‍රමසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්න මේ තීන්දුව ප්‍රබල හේතුවක් වෙනවා. සාධාරණ කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවට මේ තීන්දුවෙන් ලබා දී තිබෙන නිගමනය ක්‍රියාත්මක කරන්න අපේ ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයා යටතේ ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. දිවුරුම් දුන් වහාම පළමුවෙන් මහා මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත් වාගේම අවුරුදු ගණනාවක් අක්‍රිය කර තිබෙන පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට ක්‍රියා කරන බවට සහතික වෙනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *