රුපියල් කෝටි 4ක නීති විරෝධී භාන්ඩ කටුනායකදී අත්අඩංගුවට
රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස සහ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගුවන් මගීන් දෙදෙනා කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක සහ 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
මොවුන් දෙදෙනා ඥාතීත්වයෙන් අක්කා සහ මල්ලී වන අතර ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත විදේශයන් වෙත ගොස් භාණ්ඩ ගෙනැවිත් දීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්නන් වෙයි.
ඔවුන් ව්‍යාපාරිකයන් සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ වෙන් කර ඇති “රක්ත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ මෝටර් රථ අමතර කොටස් , චන්ද්‍රිකා රූපවාහිනී උපාංග ( Satalight Television ) , වැට් – 69 විස්කි බෝතල් 18 ක් , ස්කොෂ් ලීඩර් විස්කි බෝතල් 29 ක් , නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් , එසී බ්ලැක් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි තොගයක් ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව රැගෙන විත් තිබූ සැත්කම් පිහි 1,100 ක් , ඉන්දීය කෝපි පැකට් 2,220 ක් , රාත්‍රී ආලේපන ( Night Cream ) පෙට්ටි 100 ක් ද තිබී සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මොවුන් දෙදෙනා සහ ඔවුන් විසින් රැගෙන ආ භාණ්ඩ තොගය , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

