Latestදේශීය

වැඩිපුර වියදම් කළොත් ජනාධිපතිධූරය සහ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා මහනුවර ප්‍රදේශයේදී පැවති මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදීය.

උක්ත කාරණය 2023 අංක 03 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත් 1947 වසරේ සිට සෑම මැතිවරණයක් අවසානයේදී දින 21ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම එය ලබා නොදීම මෙන්ම වැරදි තොරතුරු ලබා දීම යන කාරණා දෙකම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් ඒ ආකාරයට ධුරය සහ ප්‍රජා අයිතිය අහිමි වූ අවස්ථා ඉතිහාසයේ පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවර නව පනත මගින් මෙය නීතියක් බවට පත්ව ඇති බැවින් මැතිවරණය අවසන් වී දින 21ක් ඇතුළත අපේක්ෂකයින් තම ආදායම් වියදම් විස්තරය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දිය යුතු බවද මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක සඳහන් කරයි.

එසේ ලබාදෙන වියදම් විස්තරය කොමිෂන් සභාව මගින් මහජන ප්‍රදර්ශනය සඳහා පුවත්පත් දැන්වීම්වල සහ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරන බවද ඔහු පවසයි.

ඒ අනුව වියදම් විස්තර පරස්පර හෝ වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට නීතියෙන් අවසර හිමිවන බවද මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *