පරිසරවේදීන්ගේ සැලසුම්, ආණ්ඩුවේ සැලසුම් බවට පත්කර ගනිමින් පරිසර විනාශය වළක්වනවා – අනුර දිසානායක
අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැකගැනීම ජාතික ජන බලවේගයේ ප්රමුඛ කාර්යයක් බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ පසුගිය දා ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,
අපේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් 2018-2019 කාලයේ ආරම්භ කර ඒ සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් තිබෙන විද්වතුන් සමඟ සාකච්ඡා කළා. ඒ වාගේම රට පුරා ස්වේච්ඡාවෙන් මහන්සි වී ක්‍රියා කළ විශාල පිරිසකුත් ඉන්නවා. මේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළියෙළ කිරීම සඳහා දායක වූ ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ආණ්ඩුවේ පිට සහ ආණ්ඩුව තුළත් ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කරන්න විශාල කාර්යභාරයක් කළ අය ඉන්නවා. අපේ රටට ප්රතිපත්තිවලින් අඩුවක් නැහැ. යම් තැන්වල පරස්පරතාවන් තිබෙනවා නම්, සාකච්ඡා කර සකස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. රටක් හැටියට පරිසරය ආරක්ෂා කර ගැනීමට සකස් කළ අණපනත් ගණනාවක් තිබෙනවා. එහෙම නම්, නීතිවල ප්‍රශ්නයකුත් නැහැ. යම් යාවත්කාලීන කිරීම් අවශ්‍ය නම්, සිදු කළ හැකියි. එක්සත් ජාතීන්ගේ පාරිසරික සංවිධානය සමඟ ප්රඥප්ති ගණනාවකට අත්සන් කර ජාත්‍යන්තර වශයෙන් එකඟතා ඇති කරගෙන තිබෙනවා. ඒ වාගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙන නඩු තීන්දු ගණනාවකින්ද පරිසරයේ ආරක්ෂාව සඳහා විශාල රැකවරණයක් සපයා තිබෙනවා. 1998 පොස්පේට් නිධිය රැකගැනීමේ අරගලයේදී පොස්පේට් අපනයනය කිරීම වැළැක්වීම වෙනුවෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා. නමුත්, ඇමැතිවරයා මෑතක දී ප්‍රකාශ කර තිබුණේ, “මම වංගුවක් ගහලා, විකුණන්න පටන් ගත්තා” කියලයි. නීති, නඩු තීන්දු, ගිවිසුම් මඟින් පරිසරය සම්බන්ධයෙන් දී තිබෙන ආවරණය සුරක්ෂිත කරන්න පාලකයන් ක්‍රියා කළා ද කියන ප්රශ්නය අපට තිබෙනවා.
ඒ නිසා නිරන්තරයෙන්ම පරිසරවේදීන් බලන කෝණය සහ දේශපාලකයන්ගේ කෝණය අතර ගැටුමක් තිබෙනවා. පරිසරය ආරක්ෂා කිරීමේ නියමු කාර්යය පරිසරවේදීන් සිදු කරන අතර, පරිසරය විනාශ කිරීමේ නියමු කාර්යය ආණ්ඩු විසින් සිදු කරන බවට මතයක් පවතිනවා. මේ නිසා උද්ඝෝෂණ, ගැටුම්, අධිකරණ ක්‍රියාමාර්ග බොහොමයක දී ආණ්ඩුව වගඋත්තරකරුවා වී සිටිනවා. අණපනත් කොතරම් තිබුණත්, දේශපාලන අධිකාරිය ඒවාට පක්ෂපාතීද නැතහොත් විරුද්ධද කියන ප්රශ්නය මත ගැටුම් සිදු වී තිබෙනවා. මුතුරාජවෙල ඉඩම් පිළිබඳ ප්රශ්නය සොයාබැලූ විට පැහැදිලි වූයේ ඒ පිටුපස දේශපාලන අධිකාරියේ මැදිහත් වීම් තිබෙන බවයි. පරිසරවේදීන් ලෙස ඔබ පරිසරය ආරක්ෂා කිරීමට ක්‍රියා කරන අතර, පාලකයන් ඊට ප්රතිවිරෝධී පාර්ශවයේ සිටිනවා. නමුත්, අප කල්පනා කරන්නේ අප දේශපාලකයන් වන අතර, ඔබ මෙම ක්ෂේත්රයේ විශේෂඥයන් බවයි. ජීවිතය සහ වෘත්තිය අතර විශාල පරතරයක් තිබෙන ඇතැම් වෘත්තීන් තිබෙනවා. නමුත්, ජීවිතය සහ වෘත්තිය ඒකාබද්ධ කළ ක්ෂේත්රයක් වන්නේ පරිසරය ආරක්ෂා කිරීමයි. පරිසරවේදීන් සැලකිය යුතු පිරිසක් තමන් නියැළී සිටින කාර්යය සහ ජීවිතය අතර ඒකාබද්ධතාවක් පවත්වා ගනිමින්, විවිධ අපහාස, ප්‍රහාර පමණක් නොවෙයි, ජීවිතය පවා අනතුරට ලක් කර ගෙන තිබෙනවා.
නමුත්, අපේ ප්‍රතිපත්තිය වන්නේ අප දේශපාලන අධිකාරියට නායකත්වය දෙන අතර, පරිසරය උදෙසා ඔබ දරන ප්රයත්නය සාර්ථක කර ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගැනීමයි. මේ පරිසරය කොතරම් විනාශ කර තිබේද යන්නට සාක්ෂි අපේ ජීවිතයේදී නිතරම හමු වෙනවා. අප පොඩි කාලයේ බඹයක් ගැඹුරට පොළොව හාරන විට වතුර හමු වෙනවා. අද බඹ පහක්, හයක් කැපුවත්, වතුර හම්බ වෙන්නේ නැහැ. ඉස්සර අපේ ගම්වලට දුරින් අලි හිටියා. අද වෙන කොට අපේ ගම්බිම්වලට අලි කඩාවදිනවා. අපේ ජීවිත කාලය ඇතුළත අනුරාධපුරය පැත්තේ වතුර විකුණන කඩ දකින්න හමු වෙයි කියලා අපි හිතුවේ නැහැ. අපි වක්කඩෙන්, වැවෙන් වතුර බී තිබෙනවා. නමුත්, දැන් වතුර කඩ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අපි නොදැකපු වකුගඩු රෝගය, ශ්වසන ආශ්රිත රෝග දකිමින් සිටිනවා. ඒ වාගේම සතියක් වහින කොට පිටාර ගලන වැව සති දෙකක් පායන කොට හිඳී යනවා. අපි හැමෝට ම සිදු වී තිබෙන මේ අලකලංචිය අත්දැකීමෙන්ම දකිනවා. ගංවතුර, නායයාම්, සෝදාපාළුව වැනි දේවලට අමතරව සිදු වන මේ දේවල් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
මේ තත්වය තවත් ඉදිරියට ගිය විශාල ව්‍යසනයකට අනාගත පරම්පරාව මුහුණ දෙන එක වළක්වන්න බැහැ. විශේෂයෙන්ම 1980න් පස්සේ මේ තත්වය වේගයෙන් වර්ධනය වුණා. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ ප්‍රතිඵල අපේ ජීවිත කාලය තුළ භුක්ති වින්දා වාගේම එය විනාශ කිරීමේ ප්‍රතිඵලත් දැන් භුක්ති විඳිමින් සිටිනවා. දශක තුන, හතරක කාලය තුළ මේ ප්රතිවිරෝධී ප්‍රතිඵල භුක්ති විඳිනවා නම්, තව දශක දෙක, තුනක් යන කොට කුමක් සිදු වෙයිද? ඒ නිසා දේශපාලන අධිකාරිය හැටියට අපේ ආණ්ඩුවකදී ඔබ ඉදිරිපත් කරන සැලසුම් සහ වුවමනාවන් අපෙත් සැලසුම් සහ වුවමනාවන් බවට පත් කර ගනිමින්, විනාශය වැළැක්වීම සඳහා උපරිම පියවර ගන්නවා. අප පිහිටුවන්නේ ඔබගේ වුවමනාවන් සහ අපගේ වුවමනාවන් අතර ප්රතිවිරෝධයක් ඇති වන පාලනයක් නොවෙයි; අපගේ අරමුණු සමපාත වන ආණ්ඩුවක්.
රවීන්ද්‍ර සොහොයුරා අපේ එල්ලංගා වැව් පද්ධතිය පිළිබඳව ජාත්‍යන්තරයේ පවතින ඇගැයීම පැහැදිලි කළා. පසුගිය ආසන්න කාලයේ ඇතැමුන් දේශපාලන වේදිකාවේ කෑමොර දීලා, මම කෘෂිකර්ම ඇමැති ධුරය දැරූ කාලයේ වැව් කීයක් හැදුවාද කියලා ප්‍රශ්න කළා. මම කීවේ, “මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නොවෙයි” කියලයි. අපේ රටේ සාමාන්‍යයෙන් වැව් 32,000ක් පමණ තිබෙනවා. එයින් අද ඉතිරි වී තිබෙන්නේ 14,000යි. එයින් 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් අනතුරට මුහුණ දී තිබෙනවා. අපේ ව්‍යායාමය මේ අනතුරට මුහුණ දී තිබෙන වැව් පද්ධතිය යළි ප්‍රතිසංස්කරණය කිරීමයි. වැව් පද්ධතියේ ජලපෝෂක ප්‍රදේශ විනාශ වීම, ඒ හේතුකොටගෙන වැව රොන්මඩවලින් පිරී යාම, වැව් කණ්ඩිය, සොරොව්ව, ඇළ මාර්ග පද්ධතිය වශයෙන් අනතුරුවලට ලක්ව තිබුණා. අපේ ව්‍යායාමය වැව් හදන එක නොවෙයි. මේවා තේරෙන්නේ නැති අය පව්! අපේ වැඩපිළිවෙළ බවට පත්ව තිබුණේ, මේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි. ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියන ස්ථාවරයේ අපි තවමත් ඉන්නවා.
සමහර වැව් පැරැණි තත්ත්වයටම ගෙන එන්න බැරි වෙයි. සමහර ජල පෝෂක ප්‍රදේශවලට කර තිබෙන විනාශයන් යළි ඒ ලෙසම ප්‍රතිස්ථාපනය කරන්න බැරි වෙයි. නමුත්, හැකි උපරිම ප්‍රමාණයකින් වැව් පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර මෝසම්වලින් ලැබෙන ජලය ආරක්ෂා කරගත යුතුයි. අපි කළ යුත්තේ, වැවක් හදන එක නොවෙයි; මේ පද්ධතියට පණ දීමයි. වැවක් හැදුවාට පද්ධතියට පණ එන්නේ නැහැ. වැටෙන වර්ෂාව වාගේම පොළොවේ තිබෙන ජලයත් ආරක්ෂා කර ගන්න සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ආරක්ෂා කරගත යුතුමයි. සාමාන්‍යයෙන් ගම්වල වැවට පහළින් තිබෙන ළිඳ කිසි දවසක සිඳී ගියේ නැහැ. අද ළිඳ පමණක් නොවෙයි, වැවත් සිඳී ගිහින්.
අලි – මිනිස් ගැටුමෙන් එකට තුනේ අනුපාතයට මිය යනවා. එක් මිනිසකු අලි ප්‍රහාරයකින් මිය යන විට මිනිසුන්ගේ ප්‍රහාරවලින් අලි තුන් දෙනෙක් මිය යනවා. වසරකට මිනිසුන් විසින් ඝාතනය කර තිබෙන අලි 470 කන්දක් වාගේ ගොඩගැහුවොත්, මොන වාගේ චිත්‍රයක් මැවේවිද? අප කාටවත් දරා ගන්න පුළුවන් දර්ශනයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මේ ගැටුම නතර කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අලි මංකඩවල් නැවත ප්‍රතිස්ථාපනය කළ යුතුයි. කෙටිකාලීනව විද්‍යාත්මක ප්‍රවේශයක් අරගෙන දිගුකාලීනව අලි සිටින කැලෑවල් තුළ ආහාර සුලබතාව ඇති කර මුළු වැව් පද්ධතියෙන් ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගන්න ඉඩ ලබා දිය යුතුයි. ඒ අතර යම් ප්‍රමාණයකට විදුලි වැට සහ වෙනත් ජෛව උපක්‍රම යොදාගත යුතුයි. මේ සියල්ල සඳහා ඔබගේ සහයෝගය අපට අඛණ්ඩව අත්‍යවශ්‍යයි. තව පැත්තකින් ඉවත දමන කසළ නිසා අලි මරණ ප්‍රමාණයක් සිදු වෙනවා.
සාමාන්‍යයෙන් කොළඹ නගරයේ දවසකට කසළ මෙටි්රක් ටොන් හත්දහසක් එකතු වෙනවා. නිසි අධ්‍යාපන වැඩසටහනකින් කසළ එකතු වීම යම් ප්‍රමාණයකින් අඩු කරගත හැකි වුවත්, ප්රතිචක්රීයකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගත යුතු වෙනවා. කුණු ප්රතිචක්රීයකරණ වැඩසටහන සම්බන්ධයෙන් ඉතා ඉහළම දැනුමක් තිබෙන කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයෙක් තමන්ගේ තාක්ෂණය සහ දැනුම වාගේම මුදල් රැගෙන ලංකාවට එන්න සූදානමින් සිටියා. කුණු ප්රතිචක්රීයකරණ ක්‍රියාමාර්ග දියත් කිරීමට සමාගමක් පිහිටු වීමට ඔහු අදහස් කළත් ඒ සමාගමේ කොටස්වලින් 50%ක් ඇමැතිවරයාට දෙන ලෙස ඉල්ලා තිබුණා. ඒ නිසා ඔහු ඒ ව්‍යාපෘතිය අත්හැර දැම්මා. නමුත්, අපේ ආණ්ඩුවක් යටතේ ප්රාග්ධනය, තාක්ෂණය සහ දැනුම සියල්ල අරගෙන ඔහු නැවත එන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් පොලියක්වත් ඔහුට එපා කීවා.
අපි පාවිච්චි කරන පොලිතීන්, වතුර බෝතල් විශාල වශයෙන් ස්වාභාවික පරිසරයට විසි කරන තත්වය අප දකිනවා. මිනිසුන්ගේ ආකල්පමය වශයෙන් විශාල වෙනසක් අවශ්‍ය බව පැහැදිලියි. රටක් නීතිවලින්ම ගෙන යන්න බැහැ. නීති, සම්ප්රදායයන්, රීතීන් පවතින්න ඕනෑ. මේ සියල්ල ඇතුළත් පොදු ජනතාවගේ සමාජ ආකල්පමය පරිවර්තනයක් අවශ්‍යයි. පොදු ජනයාගේ දෛනික ක්‍රියාකාරිත්වය තුළින් පරිසරය ආරක්ෂා කර ගැනීමට විශාල දායකත්වයක් දැක්විය හැකියි. අද ලෝකයේ පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් භාවිත කරන කවර නිර්ණායකයක් බැලුවත්, අපේ රට පවතින්නේ විශාල අනතුරුදායක මට්ටමකයි. ඒ අනතුර නතර කරන එක මූලිකම කාර්යය වන අතර, ස්වාභාවික පරිසරය යළි ප්‍රතිස්ථාපනය කිරීම ඊළඟ අත්‍යවශ්‍ය කාරණයයි. මහින්ද රාජපක්ෂ එක් ඡන්දයක් ආසන්නයේ මොනරාගලට ගිහින් ප්‍රකාශ කළේ මුහුදු වතුර පිරිසිදු කර පානීය ජල අවශ්‍යතාව විසඳන බවයි. එයින් පැහැදිලි වන්නේ පාලකයන් කොතරම් විනාශයක් අපේ ස්වාභාවික පරිසරයට සිදු කර තිබෙනවාද යන්නයි. මෙයින් මිදීමට අපේ තිබෙන වුවමනාව වාගේම ඔබේ වුවමනාවත් සමපාත වී තිබෙන නිසා අප සියලු දෙනා එක් වී මෙම කටයුත්ත සාර්ථක කර ගනිමු කියලා ආරාධනා කරනවා.
අපේ පරිසර ප්‍රතිපත්තියේ මූලික පදනම නැවත නිර්මාණය කළ නොහැකි දේ ආරක්ෂා කර ගැනීමයි
පරිසරය හා සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
ලංකාව පරිසර විද්‍යාත්මකව තිබෙන්නේ කිනම් තැනකද යන්න අප හැමෝම දන්නවා. ලංකාව ජෛව විවිධත්වය ඉතාමත් ඉහළ මහා සාගර කලාපයකින් වට වූ දිවයිනක්. ඒ සාගර කලාපය නිසි පරිදි අප භාවිත කරනවාද කියන ප්රශ්නය අපට තිබෙනවා. හොඳින් ඉර එළිය තිබෙන, මෝසම් දෙකකින් වැසි ලැබෙන නිසාම ආහාර නිෂ්පාදනය අතින් සුවිශේෂී විභවතාවක් තිබෙන රටක්. නමුත්, අපේ රටේ ජනතාව ආහාර නොමැතිකමින් මිය යන තත්වයක් ඇතිව තිබෙනවා. ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ දී අරමුණු කර ගත් මූලික කරුණු කිහිපයක් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් වසර කිහිපයක් තිසසේ සාකච්ඡා කරමින්, පරිසර අරගලයේ දිගු කාලයක් සිටි සහෝදර සහෝදරියන්ගේ අදහස් ලබාගෙන තිබෙනවා. පාරිසරික විද්‍යාත්මකව ගත්තත්, රටක් හැටියට අපි විශාල අනතුරක ඉන්නවා. ලෝක පරිසර සංරක්ෂණ සංගමයෙන් උණුසුම් කලාපවලින් එකක් බවට ලංකාව නම් කර තිබෙනවා. ජෛව විවිධත්වය විශාල වශයෙන් තිබුණත්, පාරිසරිකව උණුසුම් වීම නිසා ඉක්මනින් විනාශ වී යන රටවල් උණුසුම් කලාප ගණයට ඇතුළත් කර තිබෙනවා. ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර ලෝකයෙන්ම ලංකාව 04 වැනි තැනට පත් වී තිබෙනවා. එය ඉතාම කනගාටුදායක කාරණයක්. ඒ වාගේම ප්ලාස්ටික් සහ පොලිතීන් ගංගා, ඇළ, දොළවලට එක් කරන වැඩිම රටවල් අතර, ලංකාව 05වැනි තැනට පත්ව සිටිනවා. මේ ආකාරයෙන් ලෝකයම ගත්තාම ලංකාව පාරිසරික විද්‍යාත්මකව දැඩි අනතුරකට පත් වෙමින් තිබෙනවා. දූපත් රටක් ලෙස දැඩි විපර්යාසවලට මුහුණ දෙමින් සිටිනවා.
පර්යේෂණ පත්‍රිකා ගෙන බැලුවාම කාලගුණ සහ දේශගුණ විපර්යාසවලින් ලොකු අනතුරකට මුහුණ දෙමින් සිටියත්, ඊට මුහුණ දීම සඳහා අපේ පාලකයන් ප්‍රතිපත්ති සකස් කර නැහැ. ජාතික ජන බලවේගයේ පාරිසරික ප්‍රතිපත්ති සකස් කරද්දී, ජාතික සහ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම 11ක් පදනම් කරගෙන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. නමුත්, එය එතැනින් අවසන් නැහැ. පුළුල් සංවාදයක් මඟින් ඉදිරියේ දී ඔබ සැමගේ අදහස් ලබා ගනිමින්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න සූදානම්. අපි මෙහි දී ඉදිරිපත් කරන්නේ, ජනතා සහභාගිත්වයෙන් පාරිසරික සංරක්ෂණය අපේ ආණ්ඩුවක් තුළ දී ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් මූලික අදහසක්. අද වෙද්දී, 16%-20% අතර තිබෙන වනාන්තර ප්‍රතිශතය වැඩි කළ යුතුයි. ඒ වාගේම අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා තවදුරටත් පර්යේෂණ සහ විද්‍යාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා. ඒ වාගේම රජයක් හැටියට පමණක් නොවෙයි, මහජනතාව හැටියට අපත් එකතු වී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඒ වාගේම විශේෂයෙන් රජරට ප්‍රදේශයේ මහත් ව්‍යසනයක් වී තිබෙන වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. පර්යේෂණ සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අතර පවතින විශාල පරතරය පියවීම සඳහාත් අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය කාලය පුරාම රජයේ මූලික ප්‍රතිපත්තිය වී තිබුණේ පරිසර විනාශයට සෘජුව දායක වීම හෝ අනුබල දීමයි. ඒ තත්වයට එරෙහිව අපි අපේ ජීවිත කාලය තුළ විශාල අරගල ප්‍රමාණයක් කර තිබෙනවා. චුන්නාකම් නඩු තීන්දුව ලබා ගත්තේ යාපනයේ, චුන්නාකම් ප්‍රදේශයේ ජනතාව භාවිත කරන ජලය දූෂ්‍ය කිරීමට විරුද්ධවයි. අපේ මුතුන්මිත්තන් සාම්ප්‍රදායික ඥානය අනුව පරම්පරාවෙන් පරම්පරාවට පරිසර සම්පත් ආරක්ෂා කිරීමේ දැනුම නිර්මාණය කර තිබෙනවා. ඒ සියල්ල එක් කර ගනිමින්, ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික ජන බලවේගයේ රජයක් භාර ගන්නවා.
ආර්ථිකය සහ පරිසරය කියන්නේ නිතරම ගැටෙන සාධක දෙකක්. රට සංවර්ධනය කරද්දී, පරිසරය විනාශ වෙනවා කියන ද්විඝට්ටනය සෑම අවස්ථාවකදීම අප හමුවේ තිබෙනවා. නමුත්, ආර්ථිකය වර්ධනය කරද්දී, පරිසරය විනාශ වෙනවා කියන සාධාරණීයකරණය මත්තල ගුවන්තොටුපොළ වැනි ව්‍යාපෘතිවල දී, පෝට්සිටි ව්‍යාපෘතිය, උමා ඔය ව්‍යාපෘතිය වැනි අවස්ථා රැසකදී පාලකයන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. නමුත්, පාරිසරික තත්ව වාර්තා පැත්තකට දමා ක්‍රියා කිරීම වෙනමම විනාශයක්. අපට සල්ලි උත්පාදනය කළ හැකි වුවත්, පරිසරය සම්බන්ධයෙන් නොතකා ක්‍රියා කිරීම බරපතළ තත්ත්වයක්. සතා සිවුපාවා කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. අපේ වාරි කර්මාන්තයේදී අනුගමනය කළ ‘එල්ලංගා’ පද්ධතිය ලෝක උරුමයක් සේ හඳුනාගෙන තිබෙනවා. ලංකාවේ එල්ලංගා පද්ධතිය සුවිශේෂී ක්‍රියාමාර්ගයක් හැටියට ලෝකයම පිළිගත්තේ විද්‍යාත්මක පර්යේෂණවලදී වැදගත්කම හඳුනා ගත් නිසයි. ලංකාවට ආවේණික ශාක විශේෂ ආරක්ෂා කර ගනිමින්, ශාක ගහනය වැඩි කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ, අපේ රටේ ශාක විදේශ රටවලට ගෙන ගොස් වෙනත් රටවල් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සහ ඒ ආශ්රයෙන් විවිධ නිෂ්පාදන සිදු කිරීම නිසයි. අපට රටක් හැටියට එම පේටන්ට් බලපත්‍ර සහ සුවිශේෂී ශාකවල අයිතිය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවාද යන්න කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. අපට පාරවල්, ගොඩනැගිලි, ගුවන්තොටුපොළවල් නැවත නැවතත් ඉදි කළ හැකි වුවත්, ස්වාභාවික පාරිසරික පද්ධතිය නැවත නිර්මාණය කරන්න බැහැ. නැවත නිර්මාණය කළ නොහැකි දේවල් අප ආරක්ෂා කර ගන්න ඕනෑ. අපේ පරිසර ප්‍රතිපත්තියේ මූලික පදනම එයයි. ඒ අනුව ක්‍රියා කිරීම සඳහා අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස රටේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.