විමල් වීරවංශ නම් විසකුරු නිදර්ශනය
(විදර්ශන කන්නන්ගර)
මෙවර ජනාධිපතිවරණය තුළින් ‘ජාතික ජන බලවේගය 2022 මැයි 9 දා මෙන් ලේ සුවදට ඉව ඇල්ලීමේ සැලසුමක් දියත් කරමින් ඇතැ’යි විමල් වීරවංශ මාධ්‍ය ප්‍රකාශයකින් අනතුරු හගවා තිබෙයි.
විමල් වීරවංශ ගේ එම බියජනක ප්‍රකාශය යටින් මට ඇසුනේ වෙනත් විලාප නාදයකි.
විමල් වීරවංශ එදා ජවිපෙ අතහැර රාජපක්ෂගේ ඔඩොක්කුවට නොවැටී දිගටම ජවිපෙ රැදී සිටියා නම්…..
එම කාල්පනික විකල්ප ඉතිහාසයට අනුව අද ජයග්‍රහණයක් අසබඩ සිටින ජාතික ජන බලවේගයේ ජනකාන්ත නායකයා අනුර කුමාර දිසානායක නොව විමල් වීරවංශයි.
එදා ජවිපෙ විසින් ඇවිළ වූ සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදයේ ඉදිරිපෙළම වාහකයා වූයේ විමල් වීරවංශයි.
අද ජවිපෙ විසින් මධ්‍ය-වාම ප්‍රජාතන්ත්‍රවාදී හැඩයකින් නිර්මාණය කර ඇති බහුජන ව්‍යාපාරය ජාතික ජන බලවේගය නම්,එදා සිංහල-බෞද්ධ වාර්ගික-ජාතිකවාදය කරපින්නා ගත් ජවිපෙ බහුජන ව්‍යාපාරය වූයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයයි. පළමු වැන්නේ නායකයා අනුරය. දෙවැන්නේ එදා නායකයා විමල් ය.
දේශපාලනයේදී අරමුණ සදහා අප තෝරන උපායමාර්ගය විසින් ක්‍රමිකව අපවම විපර්‍යාසයට ලක් කරනු ලබයි. ඒ අනුව දෙදාහ දශකය තුළ ජවිපෙන් දියත් කෙරුණු සිංහල-බෞද්ධ වාර්ගික ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ කාහළ නාදය බවට පත් කළ විමල් වීරවංශ අවසානයේදී එම දෘෂ්ටිවාදයේම ගොදුරක් බවට පත්වී, එහිම තාර්කික පියවරක් ලෙස රාජපක්ෂයේ අන්තේවාසික ගොරහැඩි මතධාරියකු බවට රූපාන්තරණය විය.
එම ජාතිවාදී විසදුමාරය පතුරවද්දී ඊට මගපෙන්වූ ඉහළ-පහළ නායකයන් වූ අය විමල් වීරවංශ මෙන් අතිධාවනකාරී අනතුරකට ලක් නොවුණු අතර ජවිපෙ වාහනය දීර්ඝ වංගුවකින් හරවා සිය දේශපාලන පණ නල යාවත්කාලීන කරගැනීමට එම නායකයන් සූක්ෂම විය.
ඒ අනුව කුමාර ගුණරත්නම් ප්‍රමුඛ කණ්ඩායම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පුනර්ජීවනය ලද අතර ටිල්වින්-අනුර පාර්ශවය නව ජවිපෙ/ජාතික ජන බලවේගය ලෙස පුනර්ජීවනය ලබා අද වනවිට ආණ්ඩු බලයට ද ආසන්න වී සිටියි.
අවසානයේදී වීරවංශගේ නම අද ලියැවී ඇත්තේ රටත් ජාතියත් අමු අමුවේම බංකොලොත් භාවයට පත් කිරීමට චූදිතයකු වූ අප්‍රසන්න දේශපාලන පාරාජිකයකු ලෙසය.
දෛනික ගල් භාගයේ රාත්‍රීන් විසින් වීරවංශගේ පැරණි දේශපාලන මතකයන් උස්සා පොළවේ ගැසූ පසු එකී වේදනාවන් ඊළග දිනය තුළත් හදවතේ තැන්පත්ව මොරදෙන ආකාරය ඉහත මාධ්‍ය ප්‍රකාශය තුළදී ඔහුගේ මුහුණින් පැහැදිළිව පිළිඹිබු වේ.
‘තමන්ගේ ජීවිතයේ යෞවනය කැපකර ගොඩනැගූ ව්‍යාපාරයක් අද තමන්ව ඉතිහාසයේ කුණු බක්කියට විසිකර ආණ්ඩු බලයට ආසන්න වී සිටියි’.
ඊට තමන්ගේ කාරකත්වය අනිවාර්‍යෙන්ම වගකිව යුතු වුවත් වීරවංශ අද සිය ඉරණම අවලෝකනය කරනු ඇත්තේ එලෙසය. දේශපාලන හා ආත්මීය විරසකයන් තිබුණද තමන්ගේ පැරණි දේශපාලන සගයන් ආණ්ඩු බලයට ආසන්න වෙමින් සිටීම දෙස හදවතේ කිසිවකුට නොපෙනෙන තැනකින් හෝ සතුටු වීමට ඔහුට නොහැකිය. එනම් ඔහු මිනිසෙකු ලෙස හදවතම අහිමි කරගෙන ඇත.
වීරවංශගෙන් ඇසෙන්නේ එම ආත්ම ලැජ්ජාවේ, ඊර්ෂ්‍යාවේ හා වෛරයේ අදෝනාවකි.
දේශපාලන ප්‍රතිවාදයන්ට ඔබ්බෙන් සිය සටන් සගයන්ගේ පැරණි සහෝදර මතකයන් වෙත සහනුකම්පනයක් දල්වා ගත නොහැකි වීම අතීත ජවිපෙ සංස්කෘතියෙන් එන නිශේධනීය උරුමයකි. එම උරුමය ජවිපෙ ධාරාව පමණක් නොව X කණ්ඩායම වැනි ජවිපෙට විකල්ප වාමගාමී සංස්කෘතියක් යෝජනා කළ දේශපාලන සාමූහිකයන් පවා බෙදාගත් කරුමයකි. එහිදී සිය ප්‍රමුඛතම ප්‍රතිවාදියා හෝ සතුරා වන්නේ සිය පැරණි දේශපාලන මතක ශේෂයන් මූර්තිමත් කරන අනෙකාය. එවිට එම අනෙකා දේශපාලනිකව පුංචි යහපතක් හෝ නියෝජනය කරමින් සාර්ථක වනවා බැලීම ඇහේ කටු ඇනීමක් බදු වේ.
විමල් වීරවංශ යනු එම ව්‍යාධියෙන් ඔත්පලව සමාජයත් අසාධ්‍ය කිරීමට දායක වූ විසකුරු නිදර්ශනයකි.