Latestදේශීය

අපි ණය ගෙවූ ආන්ඩුවක් – නාමල් රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ යුගයේදී දේශීය මෙන්ම විදේශීය වශයෙන් ණය ගත් සෑම රුපියලකටම මේ මහපොළොවේ වටිනාකමක් දී තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයාගේ ජය තහවුරු කිරීමට යටියන්තොට නගරයේ පෙරේදා (04) පැවති ජන රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“සෙසු ආණ්ඩු මෙන් ජනතාවට කන්න දෙන්න ණය ගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ ගත් ණය මේ රටේ සංවර්ධනයට යොදා ගෙන තිබෙනවා. කිසිදු අවස්ථාවක ණය ගෙවීම පැහැර හැර නෑ. අපි වැඩ කළ ආණ්ඩුවක්. විශේෂයෙන්ම මේ ආසනය බිම් මට්ටමේ සිට සෑම ගමකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් සංවර්ධනය කළ ව්‍යාපෘති තිබෙනවා. පාරවල් හදා, නගර පුළුල් කර අපේ ආණ්ඩුව තමයි දැවැන්ත සංවර්ධනයක් ගෙනාවේ. අද සෑම අපේක්ෂකයෙක්ම කරන්නම් කියලා එනකොට වැඩ කළ දේශපාලන පක්ෂයක් විදිහට මැතිවරණයට ඇවිල්ලා තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන එක අපි ඔබට මතක් කරන්න ඕනෙ. ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ ගෞරවයත් ආරක්ෂා කරනවා. මේ රටේ රාජ්‍ය සේවය පුළුල් කළේ මහින්ද රාජපක්ෂ යුගයේ. අපි ආවට ගියාට රස්සා දුන්නේ නෑ. අපි අලුතින් වරාය හදා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල දියුණු කර, දිසාපති කාර්යාල දියුණු කර ගමේ ව්‍යවසායකයා හදන්න උපාධිධාරීන්ට රස්සා දුන්නා. සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි කටයුතු කළා.

ඒ බඳවා ගැනීම් සිදු කළේ රටේ ජනතාවට අවශ්‍ය සේවාවන් ටික සපයන්න. ව්‍යවසායකයන් ටික හදන්න. අනෙක් පැත්තෙන් රාජ්‍ය සේවය පුළුල් කර අලුත් ආයතන පටන් ගන්න. අලුත් ව්‍යාපෘති පටන් අරන් අපි රාජ්‍ය සේවය පුළුල් කළා. ඒවගේම මේ සේවාවන් කාර්යක්ෂම කරන්න අවශ්‍ය තාක්ෂණික විප්ලව ඇති කරන්නත් අපි පිහිටුවන ආණ්ඩුව තුළ කටයුතු කරනවා. එක පැත්තකින් මේ නගරය ගත්තාම දමිළ, සිංහල, මුස්ලිම් සංස්කෘතීන් සහ ආගම් අදහන සියලු දෙනාම ජීවත්වන ආසනයක්. ඒ සෑම සංස්කෘතියක්ම ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා, මේ රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු රටේ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම අපි පිහිටුවන ආණ්ඩුවක් සතුව තිබෙනවා. දරු පරම්පරාව ගමත්, පන්සලත්, පල්ලියත්, කෝවිලත් එක්ක සම්බන්ධ කර සංස්කෘතීන්ට ගරු කරන සමාජයක් බිහි කිරීමේ වගකීමක් අපට තිබෙනවා.

තරුණ පරම්පරාවට අවශ්‍ය රැකියා උත්පාදනය කරන්න, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගන්වන්න, දේශීය ව්‍යාපාරිකයා කේන්ද්‍ර කර ගත් සමාජයක් ගොඩනඟන්න, කෘෂි කර්මාන්තයට තාක්ෂණය හඳුන්වා දී කුඩා භූමියකින් වැඩි අස්වැන්නක් ගන්න, ඒ අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න අවශ්‍ය ජාතික වැඩපිළිවෙළ අපි ඉදිරි කාලසීමාවේ ක්‍රියාත්මක කරනවා. ඩොලර් බිලියන 80ක් 85ක් පමණ තිබෙන ආර්ථිකය බිලියන 180ක් ඉක්මවූ ආර්ථිකයක් බවට පරිවර්තනය කරන්න, කෘෂිකර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහයෝගය දෙන්න, ව්‍යවසායකයා ආරක්ෂා කරන ගමන් ග්‍රාමීය බැංකු පද්ධතියට සමුපකාර බැංකු පද්ධතියට ආණ්ඩුව මැදිහත්වී මූල්‍ය ප්‍රතිපාදන දෙමින් ඒ හරහා ගමේ ව්‍යවසායකයා ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. ඒ තුළින් අපි විශ්වාස කළ දේශීය ආර්ථිකය ගොඩනඟන්න පුළුවන්.

අපි ජාත්‍යන්තර සංවිධාන මත පමණක් යැපෙන ආර්ථිකයෙන් මිදෙන්න ඕනෙ. අපි ණය ගෙවනවා. අපි ණය පැහැර හරින්නේ නෑ.

අපි ණය ගෙවූ ආණ්ඩුවක්. අනික් ආණ්ඩු වගේ කන්න දෙන්න ණය අරන් නෑ. අපි ණයක් ගත්තොත් ගන්නේ රට සංවර්ධනය කරන්න, රාජ්‍ය දේපොළ ශක්තිමත් කරන්න, ජනතාවට සහ මේ මහපොළොවේ හැම බිම් අඟලකටම වටිනාකමක් දෙන්න. කිසි විටෙක ණය පැහැර හරින ආර්ථිකයක් ගොඩනඟන්නේ නෑ. එක පැත්තකින් මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා. දරුවන්ට අවශ්‍ය රැකියා උත්පාදනය කරනවා වගේම නිසි වෙලාවට ණය ගෙවන්නත් පුළුවන්. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් අපේ රටේ ගොඩනඟනවා කියන වගකීම අපි භාර ගන්නවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න. අපේ වැඩපිළිවෙළ පිළිබඳව අවබෝධයක් ගන්න. අනෙක් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනත් කියවන්න. ප්‍රායෝගිකව මේ මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රතිපත්ති තිබෙන්නේ කා ළඟද කියලා ඔබ විසින්ම අවබෝධ කර ගන්න. මේ රටට ආදරය කරන වැඩපිළිවෙළ තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුවයි.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

“යටියන්තොටට අද ඉතා විශාල පිරිසක් පැමිණ සිටිනවා. මහින්ද රාජපක්ෂ මහතාට ගරු කරන විශාල පිරිසක් මෙතැන ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මේ රටේ සිදුවූ සංවර්ධනය පිළිබඳව මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. පහුගිය කාලයේ රටේ සිදු වූ ආර්ථික කඩා වැටීමත් එක්ක අරගලයක් මතු වුණා. ඒ සඳහා විදේශ රටවලින් විශාල මුදලක් ලංකාවට පැමිණියා. අරගලය කළේ විනෝදයට සහ දේශපාලන අවශ්‍යතාවට. එදා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිර කළා. ඒ මහතා බේරා ගන්න මේ ප්‍රදේශවලිනුත් ජනතාව පැමිණියා. පොහොට්ටුවේ මිනිසුන්ට දැන් හොඳ නායකයෙක් ඉන්නවා. ඒ අනුව එළැඹෙන විසි එක්වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමි වෙනවා. ”

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා

“කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙක් හිටියා. ඒ හත් දෙනාම දැන් අපෙන් ගිහිල්ලා තියෙනවා. ඒ වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ කෑගලු දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ හදවතේ ඉන්නේ මහින්ද රාජපක්ෂ. අපේ කඳවුරේ සිටි මන්ත්‍රීවරුන් රුපියල් ලක්ෂ ගණන්වලට අපෙන් ඈතට ගියා. ”

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *