Latestදේශීය

මැතිවරණය ප්‍රචන්ඩ ක්‍රියා සිදුකරන පිරිස් නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නේ නැහැ

මැතිවරණය නැමති ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හරහා ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උරගා බලන අවස්ථාවේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචන්ඩ ක්‍රියාවන් හී නිරථ වන පාර්ශවයන් කිසිදු ආකාරයකින් නීතියේ ආධිපත්‍යය පිහිටුවන්න ක්‍රියා නොකරන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අකලංක උක්වත්ත පවසනවා. ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ අකලංක උක්වත්ත,

ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයට සමස්ත පැමිණිලි 295ක් ලැබී තිබෙනවා. නිීති විරෝධී ප්‍රචාරණ කටයුතු 159ක්, නීත්‍යානුකූල මැතිවරණ ව්‍යාපාරයට බාධා කිරීම් 06ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 20ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 73ක්, රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම් 54ක්, රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම් 25ක් වාර්තා වෙනවා. මේ ආකාරයට අපි වර්ගීකරණය කර තිබෙන නීති විරෝධී ක්‍රියා සමහර අවස්ථාවල එකම සිදුවීම අංශ දෙකකට ඇතුළත් වෙනවා. මේ නිසා සමස්ත පැමිණිලි සංඛ්‍යාව වන 295ට වඩා එක් එක් පැමිණිලි වර්ගීකරණවල එකතුව ඉහළ අගයක් ගත හැකියි.


සමගි ජන බලවේගයේ රැස්වීම්වලදී ආහාරපාන බෙදාදීම් දිගින් දිගටම වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කරමින් සහ පැමිණිලි කරමින් කරුණු ඉදිරිපත් කරනවා. සමගි ජන බලවේගයේ කාර්යාලයක් රත්මලාන දුම්රිය නිල නිවාසයක පවත්වාගෙන යනවා. විපක්ෂ නායකයෙක් වශයෙන් සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක්, ඒ වගේම අපේක්ෂකයන්ගේ පුවරු ප්‍රදර්ශනය කිරීමට අමතරව වෙනත් අයගේ ඡායාරූප ඔවුන්ගේ මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කරනවා. නීති ගරුක රටක් හදන බව ප්‍රකාශ කිරීම භාවිතයෙන්ම ඔප්පු කරන්න තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළත් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙස අවධාරණය කරනවා. මැතිවරණ කාලයේවත් නීතිය අනුව කටයුතු කරන්න බැරි නම්, එයින්ම ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් තක්සේරු කරන්න පුළුවන්.

ඒ වගේම ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු තුළ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජාතික කොඩිය භාවිතා කරනවා. අධිකරණ දඬුවමක් ලෙස මන්ත්‍රී ධුරය අහිමි වූ මනුෂ නානායක්කාර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට භාවිතා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් නෙරපා හැරි පසු ඔහු විදේශ රැකියා අමාත්‍යාංශයේ ජනාධිපති උපදේශක ලෙස පත් කළේ මෙවැනි වැඩ කර ගන්නයි. රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම මනුෂ ඇතුළු පිරිසට අපි අවධාරණය කරන්නේ මහජන මුදල් අවභාවිතා නොකරන ලෙසයි. රනිල් වික්‍රමසිංහගේ වේදිකා හැදීමට හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හම්බන්තොට, මොනරාගල, ජාඇල යන ස්ථානවලදී යොදගෙන තිබෙනවා. නිල ඇඳුමෙන් බැහැරව එම පිරිස් යොදා ගැනීම පිළිබඳව විස්තර අපි සතුව තිබෙනවා. මීගමුවේ මැතිවරණ කාර්යාලයක් ඉදිකිරීමට එම නගර සභා සේවකයන් යොදාගෙන තිබෙනවා. ඊට අමතරව ගුවන්තොටුපළ නිලධාරීන් සියයක් හදිසියේ බඳවාගෙන ඔවුන්ට රාජකාරි නිවාඩු ලබාදී සැප්තැම්බර් 02වැනිදා සිට මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිටිනවා. ත්‍රීවිල් රථ සංගම්වල නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වාගෙන ඔවුන්ට මුදල් ලබාදී ත්‍රීවීල්වල “පුළුවන් ශ්‍රී ලංකා” ස්ටිකර් එක අලවන්න බලපෑම් කර තිබෙනවා. අපි ඒ සම්බන්ධ පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය මැදිහත්වී එය නැවැත්වූවා. නමුත් පසුව එය යළි ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සම්බන්ධ වීඩියෝ සාක්ෂි සහ වෙනත් ලිඛිත සාක්ෂි අපට තිබෙනවා.

ස්වාධීන කොමිෂන් සභාවල නිලධාරීන්ට බලපෑම් කිරීම ඇතුළු නීති උල්ලංඝනය කරන්න පමණක් රනිල් වික්‍රමසිංහට පුළුවන්. ලංකාව ගොඩනඟන්න බැරි වුණාට ඔහුට රටේ නීතිය කඩන්න පුළුවන්. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කළ 04 වැනිදා ඡන්ද ප්‍රතිඵලය ලෙස අරෝෂ් ප්‍රනාන්දු කියන පුද්ගලයා ඔහුගේ සමාජ මාධ්‍යවලින් ව්‍යාජ ප්‍රචාරයක් පටන් ගත්තා. ඔහු ගැන්ස්ට රත්නේ කියන ව්‍යාජ ගිණුමෙන් ගෙන යන ප්‍රචාරයන් සොයා බැලීමේදී හෙළි වූයේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්ෂා කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරෝෂ් ප්‍රනාන්දු එම ව්‍යාජ තොාරතුරු ප්‍රචාරය කරන බව හෙළිවෙනවා. ‘ෆැක්ට් චෙක්’ ‘සිටිසන් ෆැක්ට් චෙක්’ කියන ආයතනවල ප්‍රධානියා ලෙස සිටිමින් ඔහු මෙම ව්‍යාජ තොරතුරු බෙදා හරිමින් සිටිනවා. තැපැල් ඡන්ද ආරම්භ කිරීමත් සමග එම ඡන්ද සීල් තබා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. එසේ තිබියදී අරෝෂ් ප්‍රනාන්දු ගෙන යන මේ ව්‍යාජ ප්‍රචාරයන්ට විරුද්ධව ඉහළම ක්‍රියාමාර්ග ගන්නා බවත් අපි අවධාරණය කරනවා.

සජබ අපේක්ෂක සහ ස්වාධීන බව කියන අපේක්ෂක යන දෙදෙනාටම රටේ පොදු නීතියට ගරු කරන ලෙස අවධාරණය කරනවා. පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණකාරී ලෙස නොපැවැත්වීමෙන් රනිල් වික්‍රමසිංහ ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කර තිබුණා. නමුත් දැන් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එයින් ඔහුට සිදුවන බලපෑම මඟහරවා ගන්න ගෙනයන විවිධ උපක්‍රම නවත්වන ලෙස අවධාරණය කරනවා. ඔබ සිදුකරමින් සිටින ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ මොහොතේ අදාළ ආයතන කෙසේ ක්‍රියාකළත් නිසි ආකාරයේ අධිකරණ ක්‍රියාමාර්ග අප අනුගමනය කරන බව අවධාරණය කරනවා. ජනතාව ලබන 21 වැනිදා ස්වාධීනව තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කරන්න සූදානමින් සිටින ඡන්දයටයි මේ බාධා කරන්නේ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට මෙවැනි දේවලින් බාධා පැමිණ විය නොහැකියි. මැතිවරණය සමය තුළ නීති විරෝධී ලෙස කටයුතු කරමින් සිටින පිරිස් කිසි ලෙසකින්වත් නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නේ නැති බව අවධාරණය කරනවා.

ස්වාධීන අපේක්ෂක බව කියමින් ජාතික කොඩිය මැතිවරණ වැඩට භාවිතා කිරීම නීති විරෝධීයි
NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සාමාජික, හිටපු අමාත්‍යාංශ ලේකම් තිස්ස වර්ණසූරිය

සමගි ජන බලවේගය කියන්නේ නීති කඩන ඕනෑම කෙනෙක් එක්ක සමගි වීම බව ඔවුන්ගේ ක්‍රියාවෙන් අර්ථකථනය කෙරෙනවා. අනෙක් පැත්තෙන් ස්වාධීන යැයි පෙනී සිටියාම ඕනෑම දෙයක් කළ හැකි බව කල්පනා කරනවා. ඔවුන් නීති කඩමින් ක්‍රියා කරන්නේ පරදින බව දන්න නිසයි. ඒ බව දන්නා නිසාම ඕනෑම දෙයක් කළ හැකි යැයි කල්පනා කරනවා. 1948 සිට මේ දක්වා ලංකාව ක්‍රියා කරන ආකාරය මේ යැයි ඔවුන් පෙන්වමින් සිටිනවා. මැතිවරණය කියන්නේ අපේ සංස්කෘතිය, ශීලාචාර බව, ලෝකයට පෙන්විය හැකි අවස්ථාවක්. වෙනත් රටවල්වල මැතිවරණය පවත්වන අවස්ථාවල පෞද්ගලිකව මම අත්දැකීම් ලබා තිබෙනවා. සාමකාමීව සද්ද බද්දයක් නැතිව ඔවුන් ඡන්ද ව්‍යාපාර පවත්වනවා. ජාතික ජන බලවේගය නීතිය සැමට සමානයි කියන මූල ධර්මයේ පිහිටා රජයේ දේපළ භාවිතා කිරීම හෝ මැතිවරණ අල්ලස් හෝ දූෂණය සිදුකරන පිරිස් එක්ක සම්බන්ධ නැති බව හොඳින්ම ඔප්පු කරමින් සිටිනවා. නමුත් අනිත් පාර්ශ්ව දෙක පාලන බලය ගන්න නීතිය කඩ කිරීම් ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ඡායාරූපයට අමතරව කාර්යාලවල නීති විරෝධීව අනෙකුත් අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන්නේ ඔවුන් ගම පාලනය කරන බව හැඟවීමටයි. ඒ වගේම රජයේ දේපළ දේශපාලන වැඩකටයුතුවලට භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. එසේ භාවිත කරන දේපළ සහ වාහනවල විස්තර අප සතුව තිබෙනවා. ඒ වගේම ඡායාරූප අප සතුව තිබෙනවා. මේ නිසා අදාළ රාජ්‍ය නිලධාරීන් ඉතාමත් පරිස්සමෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කරනවා. ජනාධිපති උපදේශකලා රජයේ දේපළ පරිහරණයට ගැනීම සම්බන්ධයෙන් නිහඬව සිටීම වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිය නෙමෙයි. ස්වාධීනයි කියලා නම්කර ගත් පමණින් ජාතික කොඩිය තමන්ගේ දේශපාලන කටයුතුවලට භාවිත කළ නොහැකියි. ජාතික කොඩියට තිබෙන ගරුත්වය අහිමි වෙනවා. මේ ක්‍රියාව වහාම නවත්වන්න ඕනෑ. මෙවැනි කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම, අල්ලස් කොමිසම සහ පොලීසිය යන අදාළ නිල ආයතනවලට අපි පැමිණිලි කරනවා. නීතිය ආරක්ෂා කිරීම සියලුම දෙනාගේ වගකීමක් බව අපි අවධාරණය කරනවා.

සමාජයේ දුප්පත්කම මැතිවරණයේදී උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනෙමින් තිබෙනවා
NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ. මාර්ක්

අපට මේ දක්වා ලැබී තිබෙන පැමිණිලි අනුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වැඩිම දත්ත ප්‍රමාණයක් වාර්තා වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් සියලු දෙනාම ඉදිරිපත් වී සිටින්නේ නීතිය ආරක්ෂා කරමින් රට සංවර්ධනය කරන්නයි. ඒ නිසා තමන් ආදර්ශමත්ව ක්‍රියාකිරීම ඉතාම වැදගත්. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මූලිකම වගකීම පැවරී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවටයි. නීතියේ විධානය සහ ආධිපත්‍යය පවත්වාගෙන යන්න පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්න ඕනෑ. රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම පිළිබඳව වැටහීමක් නැත්නම් ඔහු මෙවැනි අපේක්ෂකත්වයකට සුදුසු නැහැ. අනෙක් පැත්තෙන් එවැනි අනීතික ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය වහාම ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපට වාර්තාවී තිබෙන ආකාරයට බදුල්ලෙන් සියයක පිරිසක් ගුවන් තොටුපළ සඳහා බඳවාගෙන මැතිවරණ රාජකාරිවලට මුදා හැර තිබෙනවා. ඒ වගේම කෑම බීම, ආහාර මලු බෙදාදීම වැනි කරුණුවලින් පැහැදිලි වන්නේ සමාජයේ පවතින දුප්පත්කම උපරිම ලෙස මැතිවරණයේදී ප්‍රයෝජනයට ගන්නා බවයි. මෙවැනි තත්වයන් පිළිබඳව ජනතාව විශේෂ අවධානයකින් තමන්ගේ ඡන්ද අයිතිය භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

අපිට ලැබෙන පැමිණිලි අදාළ ආයතනවලට ක්ෂණිකව යොමු කරනවා. ඒ අනුව බොහෝ ආයතන ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබෙනවා. අපට ලැබෙන පැමිණිලිවල සත්‍ය අසත්‍යභාවය සොයා බලලයි නියමිත රාජ්‍ය ආයතනවලට දැනුම් දෙන්නේ. ඒ වගේම අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ දේවල් නම්, ගරු අධිකරණයට පවා යාමට අප සූදානම්. ත්‍රීවිල් රථ සංගම්වල සිද්ධිය සම්බන්ධයෙන් අප කළ පැමිණිලි අනුව මැතිවරණ කොමිසම පොලීසිය යොදවා වහාම එය නතර කළා. නමුත් ඉන් පැය කිහිපයකට පසුව නැවත එම ක්‍රියාවම සිදුකරනවා කියන්නේ රටේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිගේ තිබෙන ආකල්පයයි. ජනතාවගෙන් බලය ඉල්ලන්න ඉස්සෙල්ලා රටේ පාලකයන් ආදර්ශමත් වී ඉන්න ඕනෑ.

ආහාර පාන දීම මනුෂ්‍යයෙකුගේ බඩගිනි නිවන්න යොදා ගැනීම සහ දේශපාලනය ප්‍රචාරය වෙනුවෙන් යොදා ගැනීම කියන්නේ පැහැදිලි චේතනාවන් දෙකක්. විශේෂයෙන්ම ජාතික කොඩිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති විවෘතවම පෙනී සිටිනවා. මැතිවරණ කොමිසම එය නීති විරෝධී බව පැවසුවාම කොහෙවත් ඉන්න මන්ත්‍රීවරයෙක් එය නීති විරෝධී නොවන බව ප්‍රකාශ කිරීමෙන් පවතින තත්වය මොකක්ද කියලා ජනතාව තේරුම් ගන්න ඕනෑ.

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිට නියෝග කළ වහාම ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඇප තැන්පත් කළා. ඇප තැන්පත් කිරීමෙන් පසුව ප්‍රකාශ කළේ, වැඩබලන පොලිස්පති පත් කළ නොහැකි බවයි. නීතිඥයෙක් බව කියන ඔහු ඇප තැන්පත් කළ පමණින් අපේක්ෂකයෙකු නොවන බවත් ඒ සඳහා නාම යෝජනා බාරදී තිබිය යුතු බවවත් තේරුම් ගෙන සිටියේ නැහැ. එසේ කියූ රනිල් වික්‍රමසිංහ අධිකරණයෙන් මන්ත්‍රී ධුරය අහෝසි කළ හරීන් ප්‍රනාන්දුලා ඒ අමාත්‍යාංශයේම උපදේශකවරු බවට පත් කළා. මැතිවරණය කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් හිතාමතා පොලීසිය අකර්මණ්‍ය කිරීම සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කළේ නැහැ. අධිකරණයෙන් එළවූ තමන්ට අවශ්‍ය සහචරයන් අමාත්‍යාංශවල උපදේශකයන් ලෙස පත්කර ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්නවා. ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ නොහැකි බව පවසා ජල ප්‍රහාර එල්ල කළ ආකාරය අපි දැක්කා. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කරන්න අමතර රුපියල් බිලියන 140ක මුදලක් අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා දැන්වූවා. නමුත් රජය එකතු කර ගත යුතු වුවත් එකතු කර නොගත් රුපියල් බිලියන 1173ක් අයකර නොගෙන තිබෙනවා. එදා පඩි වැඩි කරන්න රුපියල් බිලියන 140ක් නැති බව කීවත් මේ තැපැල් ඡන්ද හමුවේ පොරොන්දු දෙන්න එවැනි තර්ක ගේන්නේ නැහැ. එළියට එකක් ඇතුළට එකක් වශයෙන් දෙබිඩි ක්‍රියාකාරකමක් තිබෙන රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඇත්ත තත්වය මේ උදාහරණයෙන්ම තේරුම් ගන්න පුළුවන්.

මැතිවරණ කොමිසමේ ක්‍රියාවලිය සංකීර්ණ එකක් නොවෙයි. කොමිසමට ලැබෙන පැමිණිලි අනුව පොලීසිය යොදවා එම අවස්ථාවේම නීතිය ක්‍රියාත්මක කළ හැකියි. උදාහරණයක් ලෙස නීති විරෝධී පොස්ටර් අලවන අවස්ථාවේම පොලීසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම දක්වන්න පුළුවන්. වරද පිළිගත්තොත් දඩයකට යටත් වෙනවා. අධිකරණයත් තම නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට සූදානමින් සිටිනවා. පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ. ඒ නීතියේ තිබෙන්නේ කිසිදු ප්‍රමාදයකින් තොරව අදාළ ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *