Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු කුසලානයට සුදුසුකම් ලබයි

(අනුරුද්ධ හේරත් බණ්ඩාර)

කාම්බෝජියානු ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී පෙරේදා (10) රාත්‍රී පැවැති ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ක්‍රියාත්මක කෙරුණු තීරණාත්මක දෙවන වටයේ දෙවන සටන ජය ගනිමින් මීළඟ ආසියානු කුසලාන පිරිමි පාපන්දු තරගා මාලාවට සුදුසුකම් ලබාගැනීමට සුජාන් පෙරේරා ගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමත් විය.

මීළඟ ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සෞදිඅරාබියාවේ දී පැවැත් වෙන අතර ඒ සඳහා තෝරාගත් රටවල් 24කට එක්වීමට මෙම ජයග්‍රහණය ඉවහල් විය.

මීළඟ ආසියානු කුසලාන පාපන්දු තරග මාලාවට සුදුස්සන් තේරීමේ දෙවන වටයේ දෙවන අවසන් තරගය සත්කාරක කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර පැවැත් ්වුණු අතර එහිදී ගෝල් 06 – 04 ක අතිශය තියුණු හා උණුසුම් ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වීම කැපී පෙනුණි.

එමෙන්ම, 2021 වසරට පසුව ශ්‍රී ලංකාව ලත් පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය මෙය වන අතර වර්ෂ 09කට පසුව විදේශීය රටක දී ශ්‍රී ලංකාව සටහන් කර ගත් පළමු ජයග්‍රහණය ද මෙය වීම හේතුවෙන් එහි වටිනාකම ඉහළ ගොස් තිබිණි.

ඉකුත් සතියේ කොළඹ හතේ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරග තරග පිටියේ දී පැවැති ආරම්භක සටන ගෝල් 00 – 00 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

එබැවින්, මෙම දෙපිල අතර පෙරේදා පැවැති තරගය අතිශයින්ම තීරණාත්මක විය. එහි ජයග්‍රාහී පිල පමණක් මීළඟට ක්‍රියාත්මක කෙරෙන ආසියානු කුසලාන අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීම හේතුවෙන් තරගයේ උණුසුම අපේක්ෂා කළ පරිදිම තීව්‍ර විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රාහී පිල තෝරාගැනීම උදෙසා දඬුවම් පහර එල්ල කිරීම දක්වා තරගය දීර්ඝ කිරීමට සංවිධායකයන් වූ ආසියානු පාපන්දු සම්මේලනයට සිදු විය.

ජාත්‍යන්තර පාපන්දු නීතියට අනුව මිනිත්තු 90 ක කාලය තුළ දෙපිලම ගෝල් 01 – 01 ක් ලෙස සම දක්ෂතා දැක්වීම හේතුවෙන් තවත් මිනිත්තු 30ක අතිරේක කාලයක් ලබාදීමට විනිශ්චකරුවන්හට සිදු විය.

අතිරේක කාලය නිමා වනවිට ගෝල් 02 – 02ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විණි. ඉනික්බිතිව ක්‍රියාත්මක කරන ලද දඬුවම් පහර ආශ්‍රිතව ගෝල් 04 – 02ක මනරම් ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වීම ඉහළ අගයක් ගත්තේය.

මෙම තරගය පුරා අන්‍යොන්‍ය සම්බන්ධතාවයෙන් යුත් මනා පන්දු පාලනය මෙන්ම සටන්කාමී ක්‍රීඩා රටාව ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ඉවහල් වූ බව කදිමට නිරූපණය විය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ශ්‍රේණි ගත කිරීමට අනුව 180 වන ස්ථානයේ පසුවන කාම්බෝජයට එරෙහිව 205 ස්ථානයේ පසු වන ශ්‍රී ලංකාව මෙරට දී දියත් කළ ක්‍රීඩා රටාව පෙරේදා වැඩි දියුණු කරමින් දෙවන තරගයට අවතීර්ණ වූ බවක් පෙනෙන්නට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස තරගය ඇරඹී 38 වැනි මිනිත්තුවේ දී ඔලිවර් ජේම්ස් කෙලාර්ට් පළමු ගෝලය සටහන් කර ගනිමින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. එහෙත් 51 වැනි මිනිත්තුවේ දී සත්කාරක කාම්බෝජය තම පළමු ගෝලය සටහන් කිරීමත් සමගම ගෝල් තත්ත්වය 01 – 01 ක් ලෙස සම විය.

ඒ අනුව තවත් මිනිත්තු 30 ක අතිරේක කාලයක් දක්වා තරගය දීර්ඝ කරන්නට විය. එහි ප්‍රථම භාගයේ දී ගෝලයක් රැස් කරමින් 02 – 01 ක් ලෙස නැවත වතාවක් පෙරමුණ ගැනීමට කාම්බෝජය සමත් විය. එහෙත්, පරාජයේ අමිහිරි වේදනාව භාර නොගත් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෝ අතිරේක කාලයේ අන්තිම තත්ත්පරයේ දී ක්‍රියාත්මක වෙමින් ගෝල් තත්ත්වය 02 – 02 ක් ලෙස සම කිරීමට සමත්වීම කැපී පෙනුණි. එම තීරණාත්මක ගෝලය ක්ලාඩියෝ මතායස් වාර්තා කළේය.

ඒ අනුව පැවැති දඬුවම් පහර ආශ්‍රිතව පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකා පිල ඓතිහාසික ජයග්‍රහණයක පිපාසාව සංසිඳවා ගැනීමට සමත් විය.

ප්‍රතිවාදී කාම්බෝජයානු මුල් ක්‍රීඩකයා සහ දෙවන ක්‍රීඩකයා එල්ල කළ දඬුවම් පහර ද්විත්වයම වළක්වාලමින් නායක සුජාන් පෙරේරා ප්‍රදර්ශනය කළ රිද්මානුකූල බව කැපී පෙනුණි. එහි වාසිය උපරීමයෙන් ප්‍රයෝජනය ගත් ශ්‍රී ලාංකේය ඉදිරි පෙළ ක්‍රීඩකයින් වූ ජැක් හිගර්ට් පළමුව ද , සැමුවෙල් ඩුරාන්ට් දෙවනුව ද ඔලිවර් ජේම්ස් කෙලාර්ට් තෙවනුව ද ලියෝන් පෙරේරා සිව් වැන්නා ලෙස ද තම පා පහරින් බෝලය නිවැරදිව ගෝලය තුළට යවමින් ජයග්‍රහණය සනාථ කර ගැනීමට සමත් වූහ.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *