Latestදේශීය

ආර්ථිකය විනාශ කර ජනතාවගේ ජීවිත උදුරා ගත් අය දැන් අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා – මහාචාර්ය අනිල් ජයන්ත

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය පිළිබදව තැතිගත් කණ්ඩායම් මඩ, අවලාද මෙන්ම යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරි සතිය තුළ දී සිදු කළ හැකි බවත් නමුත්, ඒ කිසිවකට හසු නොවී හික්මීමෙන්, විනයගරුකව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ ප්‍රධානී මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. ඊයේ(13) පැවති ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජයන්ත මහතා,

ආණ්ඩුව සහ විපක්‍ෂය ලෙස සිටින අපට විරුද්ධව වැඩ කරන කණ්ඩායම් මඩ, අවලාදවලට අමතරව වෙනත් විවිධ ක්‍රියාමාර්ගත් ගනිමින් ඉන්නවා. වාහන ආනයන තහනම ලිහිල් කරන බවට හදිසි ප්‍රවෘත්තියක් ආවා. ඒ වෙනුවෙන් කැබිනට් තීරණයක් ගත් බවත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති බවට බොරු ගොඩක් කියමින් යනවා. අපේ විදේශ වෙළෙඳ පංගුව වැඩි කර ගැනීම ප්‍රධානම අරමුණයි. ඒ වෙනුවෙන් විදේශ වෙළෙඳ ගිවිසුම්වල වර්තමාන තත්වය සමාලෝචනය කර නැවත අලුත් කර ගැනීමත්, ඒ වාගේම අලුතින් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමත් සම්බන්ධයෙන් පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වාගේම ජාතික ජන බලවේගයේ බජට් එක ගැන සංඛ්‍යාලේඛනත් කියන්න පටන්ගෙන තිබෙනවා. අපි ආණ්ඩුව පත් කර ගත්තාට පස්සේ රජයේ අයවැය දෙපාර්තමේන්තුව සමඟ එක් වී අයවැය ලේඛනය සකස් කරනවා. ඊළඟ වර්ෂයට අදාළ මූලික කෙටුම් පත් අයවැය දෙපාර්තමේන්තුවෙන් සකස් කරමින් සිටිනවා. නමුත්, රනිල් වික්‍රමසිංහට විශේෂ හැකියාවක් ලැබී තිබෙනවා, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දාන කොටම අපට අදාළ අයවැයකුත් හදන්න. ඒ වාගේම අයි.එම්.එෆ්. එක සම්බන්ධයෙනුත් අපේ මූලික ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් කීවේ, සමහර කොන්දේසි පිළිබඳව සාකච්ඡා මඟින් එකඟතාවකට එන බවයි. ඒ අවස්ථාවේ දී අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම පවා කළ නොහැකි යැයි බිල්ලෙක් මැව්වා. ඊට පසුව ඔවුන් අදාළ වෙනස්කම් සිදු කරන බව ප්‍රකාශ කළා. ඒ අතර ඊයේ 12 වැනිදා මේ මොහොතේ බලයේ සිටින ආණ්ඩුවක් සමඟ නොව අලුතින් පත් වන ආණ්ඩුවක් සමඟ නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එළැඹෙන 21 වැනිදා ලංකා ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණයක් පවත්වන බව අපි කවුරුත් දන්නවා. මේ වන තුරු දූෂිත සහ වංචාකාරී පාලන තන්ත්‍රයක් ගෙන ගිය පිරිසගෙන් මහජනතාවගේ පාලනයක් පිහිටුවා ගන්න නොඉවසිල්ලෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් රට පාලනය කළ පිරිස් කලබල වී මහජනතාව අතරේ අසත්‍ය, විකෘති කරුණු බොහොමයක් ප්‍රචාරය කරමින්, අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරනවා. විශේෂයෙන්ම බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ අවදානමක් ඇති වේවි යැයි විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. හිතාමතාම ආර්ථිකය විනාශ කර මහජනතාවගේ ජීවිත උදුරා ගත් අය දැන් අසත්‍ය ප්‍රචාර යවමින් සිටිනවා. ඔවුන්ගේ උපක්‍රමය වී තිබෙන්නේම මහජනතාව තුළ බිය නිර්මාණය කර මහජනතාව රවටා බලය අත්පත් කර ගැනීමයි. ඒ හමුවේ ඉවසීමෙන් සහ අනවශ්‍ය කලබලවලින් තොරව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. වෙළෙඳපොළ ආර්ථිකය තුළ භාණ්ඩ හිඟයක් කිසිසේත්ම ඇති වන්නේ නැහැ. මහජනතාවගේ ජීවිත මෙයට වඩා පහසු කරන්න වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ සැලසුම් අප සකස් කර තිබෙනවා. ඇතැම් කණ්ඩායම් හිතාමතා නිර්මාණය කරන වාර්තා, ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරය කරන බව අවධාරණය කරනවා. බ්ලූම්බර්ග් ආයතනය හෙළි කර තිබෙන ආකාරයට භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී යම් කිසි චලනයක් ඕනෑම රටක මැතිවරණ පවත්වන අවස්ථාවල දී සිදු වෙනවා. ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළත් මේ බිය නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. නමුත්, ඒ සියල්ල ඒකාබද්ධ කර කටයුතු කරන්නේ කොහොමද කියලා ඡන්දයට සතියක් පමණ තිබියෙදී සනාථ කර තිබෙනවා. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සහ ආයෝජන සිදු කරන්නේ කොහොමද කියලා ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් හමුවේ පවත්වන සමුළුවල දී අපි පැහැදිලි කර දී තිබෙනවා.

බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයට අයත් නොවුණත්, තවත් පැත්තකින් ඔවුන්ම තිර රචනා කරලා, අධ්‍යක්‍ෂණය කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියා පිළිබඳව සිද්ධි නිර්මාණය කිරීම ගැන දැනටමත් තැන් තැන්වලින් වාර්තා වෙනවා. කවරදාකවත් නොතිබුණු ආකාරයේ මඩ, අවලාද මෙන්ම යම් යම් ප්‍රචණ්ඩ ක්‍රියා ඉදිරි සතිය තුළ දී සිදු කළ හැකියි. නමුත්, ඒ කිසිවකට හසු නොවී හික්මීමෙන්, විනයගරුකව කටයුතු කරන ලෙස අපි ජනතාව අවධාරණය කරනවා.

ජනාධිපතිවරණයට පෙර දූෂිත ගනුදෙනු හමාර කරන ලෙසට ආණ්ඩුවෙන් බැංකුවලට බලපෑම්
ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කැඳවුම්කරු සමීර අල්විස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය ආයතන 64ක් ලංකාවේ තිබෙනවා. ඊට අමතරව ‘කලම්බෝ එක්ස්චේන්ජ්, කලම්බෝ සෙකියුරිටි ක්‍රිබ්’ වැනි ආයතන බැංකු හා මූල්‍ය සංසදයට සම්බන්ධ වී සිටිනවා. රට පුරා විසිරී සිටින මේ ක්‍ෂේත්‍රයේ 25,000ක් පමණ වෘත්තිකයන් අතුරින් දහස ඉක්ම වූ පිරිසක් නිවාඩු ලබාගෙන රට පුරා සක්‍රියව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කරමින් සිටිනවා. මෙරට ව්‍යාපාරිකයාගේ මෙන්ම මිලියන ගණනක් ජනතාව පිළිබඳවත් බැංකු හා මූල්‍ය වෘත්තිකයන් හැටියට අපට රට ගොඩනැඟිය හැක්කේ කාට ද කියලා හොඳ අවබෝධයක් තිබෙනවා. බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම වෘත්තිකයන් පන්දහසකට අධික පිරිසක් බැංකු දහයකින් ඉවත් වී රට අත්හැර ගියා. අනෙකුත් ක්‍ෂේත්‍රවලට වාගේම අපේ මේ ක්‍ෂේත්‍රයටත් අවුරුදු ගණනාවක් යන තෙක් පිරිමැසිය නොහැකි පාඩුවක් ඉන් සිදු වී තිබෙනවා.

මේ තත්වය තුළ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම උපයන විට ගෙවීම් බද්ද අය කරන සීමාව රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ දෙක දක්වා වැඩි කරන ප්‍රතිපත්තියක ඉන්නවා. මේ රට බංකොළොත් කර ජනතාව ඉතාමත් පීඩාකාරී තත්වයකට පත් කළ පාලකයින් ඔවුන්ගේ පරාජය හමුවේ පවා මහ බැංකු කොල්ලයට නොදෙවැනි කොල්ලයක් සිදු කරන්න සූදානම් වෙමින් සිටිනවා. මේ රටේ ජනතාවට විශාල සේවාවක් සපයන රාජ්‍ය අංශයේ මහජන බැංකුව ඩොලර් මිලියන 10ක මෘදුකාංග ගනුදෙනුවක් කරන්න සූදානම් වුණා. එයට එල්ල වුණු විරෝධය හමුවේ ‘සිල්වර්ලේක්’ පෞද්ගලික සමාගම තමන්ගේ මිල ඩොලර් මිලියන 7.1 දක්වා අඩු කර නැවත ඉදිරිපත් කර තිබෙනවා. බැංකුව නොඉල්ලූ ‘සිල්වර්ලේක්’ කියන සමාගමේ මෘදුකාංග පද්ධතිය ලබා ගන්නා ලෙසට බැංකුවට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ විදේශ ගමන් බලපත්‍ර සම්බන්ධ ජාවාරම පවරා දී තිබුණේත් මේ සමාගමටමයි. ජනාධිපතිවරණයට පෙර එළඹෙන 18වැනිදා මෙම ගනුදෙනුව හමාර කරන ලෙසට බැංකුවට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ලහිලහියේ සිදු කරන බලපෑම් නවත්වන ලෙස අපි අවධාරණය කරනවා.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාවට ලංකා බැංකුවෙන් ලබා දී තිබෙන ඩොලර් මිලියන ගණනක ණය වෙනුවෙන් අය විය යුතු පොලිය කපාහැරීමට නියෝග ලැබී තිබෙනවා. පසුගිය වසරේ රුපියල් බිලියන 10ක් වූ ලංකා බැංකුවේ ශුද්ධ ලාභය මෙම වසරේ මුල් මාස අට තුළ රුපියල් බිලියන 1.5ක් දක්වා පහත වැටී තිබෙන්නේ මේ තත්වය තුළයි. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග තුළින් සිදු වන අලාභය පියවා ගන්න බැංකුවේ ලාභය මේ ලෙස කප්පාදු කිරීම අප දැඩිව හෙළා දකිනවා.

සැප්තැම්බර් 21 වැනිදායින් පසුව අප නිර්මාණය කරන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව වෘත්තිකයන්ට නිදහසේ තම කටයුතු කරගෙන යා හැකි පාලනයක් බව අවධාරණය කරනවා. විශේෂයෙන් උතුර හා නැඟෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාව පවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න අත්වැල් බැඳගෙන අවසන්. ඒ ප්‍රදේශවල සිටින වෘත්තිකයන්ගෙන් සියයට 70ක් පමණ ලංකා ඉතිහාසයේ පළමු වතාවට සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකතු වුණු ආණ්ඩුවක් බලයට පත් කර ගන්න සූදානම් වී සිටිනවා. බැංකුවක මුදලක් තැන්පත් කිරීමේ දී සුරක්‍ෂිතතාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ මේ රටේ දූෂිත කණ්ඩායමකට නැවතත් ඡන්දය ලබා නොදෙන ලෙසයි.

ජනතාවට ලස්සන ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමට අපි සූදානම්
ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු උපාධිධාරී වෘත්තීය සමිතියේ ලේකම් දිල්ශාන් චාමිකර

මේ රට ආර්ථික වශයෙන් වට්ටා ජනතාවගේ ජීවිත විනාශ කළ පාලකයන් ඉවත් කරන්න මේ රටේ ජනතාව සැප්තැම්බර් 21 වන තුරු බලා සිටිනවා. බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් වාගේම ආර්ථික විශේෂඥයන්, විද්වතුන් සියලුම දෙනා ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළ නියෝජනය කරන අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීමට ඒකරාශී වී සිටිනවා. වර්තමාන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති වීමට සිහින දකින සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමේ සිහින බොඳ වෙලා තිබෙන්නේ. බුද්ධි අංශ වාර්තා සහ ස්වාධීන සමීක්‍ෂණ වාර්තා අනුව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු වී තිබීමෙන් ඔවුන් බොහෝ කලබල වී සිටිනවා.

බැංකු හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිකයන් හැටියට අපට මේ ක්‍ෂේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. 2015-2019 පාලනය ආරම්භ කළේ රවී කරුණානායක, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිස සමඟ එක් වී මහ බැංකුව කොල්ලකෑමෙන්. මහ බැංකුවට තිබෙන කීර්ති නාමය සහ විශ්වාසය පළුදු කර මේ රටේ මූල්‍ය පද්ධතියම පළුදු කර ඔවුන් ආණ්ඩුව කරන්න පටන් ගත්තා. විදේශ විනිමය අර්බුදයට වගකිව යුතු ප්‍රධානම පුද්ගලයා රනිල් වික්‍රමසිංහයි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ඩොලර් බිලියන 12.5කට වඩා ලබා ගත්තා. අඩු පොලියකට ද්විපාර්ශ්වික ණය ගන්නවා වෙනුවට ඔහු කියන පරිණත නායකත්වයෙන් වාගේම ආර්ථික ඔස්තාද්ලා බව කියා ගන්නා හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසත් මේ මූල්‍ය අපරාධවලට හවුල් වුණා. සංස්කෘතික අරමුදල, නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතනවල මුදල් සජිත් ප්‍රේමදාසලා සාපරාධී ලෙස පරිහරණය කර ඇති ආකාරය විගණන වාර්තාවලින් හෙළි වී තිබෙනවා.

ඒ වාගේම පාඩු ලබනවා කියන විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලට ඔවුන්ගේ පාලනය යටතේ සේවකයන් 16,000 සිට 19,000 දක්වා වැඩි කළා. රාජ්‍ය ආයතන තමන්ගේ පාක්‍ෂිකයන්ගෙන් පුරවා පාඩු ලබන ආයතන බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසත් වගකිව යුතුයි. එම ආයතනවල සභාපති ඇතුළු පාලන අධිකාරියට පත් කළේත් ඔවුන්ගේ හිතවතුන්. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වෙනුවෙන් විදේශ ආයෝජන ගෙන එන බව කීවත්, ඒ කිසිවක් ක්‍රියාත්මක වූයේ නැහැ. ජාතික ජන බලවේගය ජාතික ආර්ථික න්‍යාය පත්‍රයට අනුව විදේශ ආයෝජන කැඳවා ගනිමින්, රාජ්‍ය ආදායම් වැඩි කර ගන්නත් නිසි සැලසුම් සකස් කර තිබෙනවා. ආදායම් වැඩි කර ගන්නවා වාගේම නාස්තිකාර වියදම් කපාහැර අයවැය පරතරය අඩු කර ගන්නා ආකාරයත් අපේ සැලැසුම්වල තිබෙනවා.

මේ රටේ ප්‍රගතිශීලී ජනතාව අනුර දිසානායක ජයග්‍රහණය කරවන්න එකතු වී සිටිනවා. ඒ ජයග්‍රහණය නවත්වන්න කිසිවකුටත් බැහැ. අපි හැමෝම පෙළගැසී සිටින්නේ 22 වැනිදා ජයග්‍රහණයෙන් පසුව මේ රට පොහොසත් රටක් බවට පත් කර ජනතාවට ලස්සන ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මහන්සි වී වැඩ කරන්නයි. මෙතෙක් එකතු නොවූ පිරිසටත් අපත් සමඟ එක් වන ලෙස ඉල්ලා සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *