Latestදේශීය

සමාජය සෞඛ්‍යසම්පන්න කර ගැනීමේ වගකීම ජාතික ජන බලවේගය බාරගෙන තිබෙනවා – ළමා රෝග විශේෂඥ බස්නායක මුදියන්සේ

ජාතික ජන බලවේගයට සහය දක්වන ‌විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන්ගේ මාධ්‍ය හමුවක් ඊයේ (16) පැවැත්වුණා. එහිදී එම මාධ්‍ය හමුව ඇමතූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය බස්නායක මුදියන්සේ මහතා පැවසුවේ සමාජය සෞඛ්‍යසම්පන්න කර පවත්වාගෙන යාමේ වගකීම ජාතික ජන බලවේගය ආන්ඩුව යටතේ සිදුකිරීමට ‌ප්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති බැවින් තම සහය ජාතික ජන බලවේගයට හිමිවන බවයි. එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නායක මුදියන්සේ මහතා,

මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් ගණනාවක් සම්බන්ධ වී සිටිනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන සමාලෝචනයක් කරන්න අපි අදහස් කරනවා. ජනාධිපතිවරණය පවත්වන්නේ අපේ රට ඉතාමත්ම අර්බුදකාරී අවස්ථාවක තිබෙන පසුබිමකයි. ඒ අතර තමයි, ජාතික ජන බලවේගය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන්නේ. මෙහි සෞඛ්‍යය පිළිබඳව වඩා පුළුල් අවධානයක් යොමු කර තිබෙනවා. රටේ පුරවැසියන් සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දුන් අවස්ථාවක ගෞරවයකින් යුක්තව නැවත සුවපත් ජීවිතයක් කරා පැමිණීමේ අභිලාෂයෙන් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා. ලෙඩ රෝගවලින් සුව වීමෙන් එහාට ගිය ශාරීරික, මානසික, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික සෞඛ්‍යසම්පන්න බව මුළුමහත් ජන සමාජයටම අත්කර දීම වෙනුවෙන් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කර තිබෙනවා.

රෝගීන්ට සැලකීමේ ක්‍රියාවලියේදී සමානාත්මතාව තහවුරු කිරීම මූලික අරමුණක් කරගෙන තිබෙනවා. සමාජය සෞඛ්‍යසම්පන්න කර ගැනීමේ වගකීම රජය භාරගෙන තිබෙනවා. දැනට සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉමහත් කැපවීමකින් යුක්තච සුවිශේෂී සේවයක් සිදු කරනවා. එම ක්‍රියාවලිය ක්‍ෂේත්‍රයේ යෙදී සිටින තම තමන් විසින්ම සිදු කරගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ ශක්‍යතාවන් සොයා බලා පුහුණු කිරීම් අවශ්‍ය වෙනවා. දියුණු වන නවීන ලෝකයත් එක්ක නව්‍යකරණය අවශ්‍යයි. එහි දී පර්යේෂණ හා සංවර්ධන දත්ත අවශ්‍යයි. බටහිර වෛද්‍ය ක්‍රමයට පමණක් නොව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට පවා නූතන තාක්‍ෂණය මුසු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරය කෙරෙහිත් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවත් හඳුනාගෙන තිබෙන බව පැහැදිලියි. බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් දෙකම මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක කරමින්, වඩාත් සුවපත් සෞඛ්‍යසම්පන්න ජන සමාජයක් ගොඩනැඟීම කෙරෙහි සෞඛ්‍ය සේවය යොදා ගැනීම ඉලක්ක කරගෙන තිබෙනවා.

බංකොළොත් බවින් රට මුදාගැනීමට ඵලදායීතාවෙන් යුත් ප්‍රජාවක් රට තුළ සිටිය යුතුයි
විශ්‍රාමික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර

අපේ රටේ හොඳ සෞඛ්‍ය සේවාවක් නැතුවා නොවෙයි. කළමනාකරණයේ දුර්වලකම් නිසා අඩුපාඩුකම් තිබෙනවා. සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු හඳුනාගෙන තිබෙනවා. මූලිකම දේ තමයි, වගවීම. රජයක් රටට, ජනතාවට සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යන්නේ ඔවුන් ගෙවන බදු මුදල්වලින්. ජාතික මට්ටමේ තීන්දු තීරණ ගන්න, සැලැසුම් ක්‍රියාත්මක කරන්න පළාත් හා ප්‍රාදේශීය මට්ටමෙන් සිටින කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනතාවට වග වෙනවාද යන්න විපරම් කිරීම අත්‍යවශ්‍යයි. ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රතිපත්ති මාලාවක් වුවත්, එය සංවර්ධනය කර ගනිමින්, ඉදිරියට ගෙන යාම පිළිබඳවත් සඳහන් වීම ඉතාම වැදගත්. විවිධ මට්ටම්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිරන්තර ක්‍රියාමාර්ග තුළින් කාලානුරූපව වෙනස් විය යුතු ආකාරයත් පැහැදිලි කර තිබෙනවා. මේ වන විට රාජ්‍ය සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වුවත්, ජනතාව මේ වෙනුවෙන් සෘජුවම තමන්ගේ වියදම්වලින් විශාල පංගුවක් දරන බව හෙළි වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ රජය සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කරන මුදල්වලින් නිසි ආකාරයෙන් ප්‍රයෝජනයක් සිදු නොවීමයි. නොයෙක් ගැටලු නිසා සියයට 50ක් පමණ පිළිබඳව ප්‍රශ්නගතයි. එය වළක්වා ගන්න නම්, සෞඛ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැඹුරු සුපරීක්‍ෂණයක් අවශ්‍යයි. සෞඛ්‍යය යනු හුදෙක් රෝගවලට ප්‍රතිකාර කිරීමෙන් එහා ගිය කායික, මානසික, ආධ්‍යාත්මික මෙන්ම පාරිසරික යන ආනුෂාංගික සමස්තයක් හැටියට හඳුනාගෙන තිබීම අතිශයින්ම ප්‍රශස්ත දැක්මක්. සෞඛ්‍ය සේවාව කියන්නේ ඖෂධ මිල දී ගැනීම, රෝහල් ඉදි කිරීම, වෛද්‍යවරුන් බඳවා ගැනීම පමණක්ම නෙමෙයි.

අපේ රටේ රෝහල්ගත වන්නන්ගෙන් වැඩි පිරිසක් මාරක අනතුරුවලට ලක් වන්නන්. ඒ නිසා අදාළ පාර්ශ්වකරුවන් සමස්තයක් ලෙස හඳුනාගෙන තිබීම අතිශයින් වැදගත්. කෘෂිකර්මය, ආහාර නිෂ්පාදනය, අධ්‍යාපනය ඇතුළු සියලු අංශවල යහපැවැත්ම ආරක්‍ෂා කිරීම සෞඛ්‍යය කෙරෙහි ඉතාම වැදගත්. බංකොලොත් තත්වයට හෙළා තිබෙන අපේ රට ඉන් මුදාගැනීම සඳහා නිෂ්පාදනය වැඩි කිරීම, ඵලදායීතාව වැඩි කිරීම අත්‍යවශ්‍යයි. මේ කටයුතු වෙනුවෙන් ඵලදායීතාවෙන් යුත් ප්‍රජාවක් රට තුළ ඉන්නම ඕනෑ. රෝගී වන තුරු බලා සිට රෝගයට බෙහෙත් දීම පමණක් ප්‍රමාණවත් නැහැ. සෞඛ්‍ය ප්‍රවර්ධනය මගින් මිනිසුන් ලෙඩ වීමට පෙර තීරණාත්මක සාධක ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. ඒ වාගේම ප්‍රවාහනය, මාර්ග නඩත්තුව වැනි කටයුතු තුළින් යහපැවැත්ම වාගේම අවදානම කල්තියා හඳුනා ගැනීම, නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් මානව සම්පත මෙහෙයවීමේදී අතිශයින්ම වැදගත්. ලංකාවේ අනාගතය රැඳී පවතින්නේ ඒ මානව සම්පත මතයි. කල්තියා හඳුනා ගැනීම වාගේම බෝ නොවන රෝග, බෝ වන රෝග පිළිබඳව නිශ්චිත අවබෝධයක් අවශ්‍යයි. සෞඛ්‍යය යනු සැපයීමක් නොව ප්‍රජාව තුළින්ම ළඟා කරගත යුතු දෙයක්. ඒ අනුව මිනිසුන්ගේ අයිතියක් පමණක් නොවෙයි, ඔවුන්ගේ දායකත්වය මගින් ගොඩනඟාගත යුතු ක්‍රියාවලියක් බව මෙම ප්‍රතිපත්ති රාමුවෙන් තහවුරු වී තිබෙනවා. ආහාර පනතෙන් ආවරණය කර තිබෙන නීති තුළින් රිංගා ගොස් සිදු කරනු ලබන කටයුතු නිසා සෞඛ්‍යය සම්බන්ධයෙන් පැනනැඟී තිබෙන ගැටලු විසඳාගෙන නිරෝගී, ඵලදායී ශ්‍රී ලාංකික ප්‍රජාවක් නිර්මාණය කළ හැකියි.

සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මකව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට භාරගෙන තිබීම සාධනීයයි
බටහිර ඕස්ටේ්‍රලියාවේ පර්ත්හි විශේෂඥ වෛද්‍ය අරෝෂා විද්‍යාභූෂණ

සෞඛ්‍ය සේවයක ඉතාම අත්‍යවශ්‍ය අංගයක් තමයි, ප්‍රාථමික සෞඛ්‍ය සේවය. දියුණු රටවල ප්‍රජාව රෝගී වීමට පෙර අවදානම් සහිත අය හඳුනා ගැනීම, රෝග වළක්වා ගැනීම ආරම්භක පියවර ලෙස පවතිනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍යය පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරමින්, අංශ ගණනාවක් හඳුනාගෙන තිබීම විශිෂ්ටයි. දැනට පවතින සෞඛ්‍ය සේවයේ ප්‍රධාන දුර්වලකමක් තමයි, රෝගියා නිසි තැනට යොමු කරවීමට නොහැකි වීම. ද්විතීයික සහ තෘතීයික මට්ටම්වල ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරවීමට අවධානය යොමු කර තිබීම ඉතාමත් සාධනීයයි. ඉන් පසුව රෝගියා අනුව වර්ගීකරණය කරමින්, පිළිකා, වකුගඩු වැනි විශේෂ සෞඛ්‍ය සේවාවලට යොමු වන අය නිවැරදිව කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින්, සමස්තයක් ලෙස දැනට සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරනු ලබන දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%ක් පමණ වන ප්‍රමාණය ක්‍රමානුකූලව 5%ක් පමණ දක්වා ගෙන යාමට සැලැසුම් කිරීම ඉතාමත්ම සාධනීයයි. ඒ වාගේම රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී වැඩිහිටි බවට පත්ව සිටින පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කරමින්. නිදහස් ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසා දීමේ දැක්මක් මේ තුළ තිබෙනවා. රෝගියා මූලික කර ගත් සෞඛ්‍යසේවා පද්ධතියක් ගුණාත්මකව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට භාරගෙන තිබීම ඉතාමත් ම සාධනීයයි. මේ ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාමාර්ග ගැනීමේ දී ක්‍ෂේත්‍රයේ අදහස් ලබාගෙන සාර්ථක ලෙස ඉදිරියට ගෙන යා හැකි බව පැහැදිලියි.

සෞඛ්‍ය ප්‍රතිපත්තියෙන් රෝගීන්ට මෙන්ම රටේ සමස්ත ජනතාවටම ලස්සන ජීවිතයක් ලැබෙනවා
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව පළමු මහාචාර්යවරයා මෙන්ම ආසියා – ශාන්තිකර කලාපයේ සෞඛ්‍ය අධ්‍යයන සංසදයේ මහ ලේකම්වරයා සහ එම තනතුරට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා හැටියට මම මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා. දශක දෙකකට ආසන්න කාලයක් මෙම කලාපය තුළ මා ලැබූ අත්දැකීම් සමඟ සංසන්දනය කිරීමේදී ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව යම් විශ්ලේෂණයක් සිදු කළා. ඒ වාගේම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බව කල්පනා කළා. ශ්‍රී ලංකාව අදටත් මානව සංවර්ධන දර්ශකයේ ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සෞඛ්‍ය, අධ්‍යාපන යන ක්‍ෂේත්‍ර නිසයි. නමුත්, මේ ක්‍ෂේත්‍රවලදී ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ආපස්සට හරවන පියවර ගණනාවක් ගෙන ඇති බව පැහැදිලියි. මෙය වහාම නැවැත්විය යුතු තත්වයක්. රටකට තිබෙන වැදගත්ම ආයෝජනය සෞඛ්‍යය බව බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් කළ දේශනාවෙන් පැහැදිලි වෙනවා. අධ්‍යාපනය සහ සෞඛ්‍යය නැති නම්, සමාජයට කිසිම දියුණුවක් ලබා ගන්න බැහැ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වැදගත්ම අංගයක් වන්නේ මානව සම්පත බව කාටත් පැහැදිලියි. ඒ වෙනුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් අපට අවශ්‍යයි වාගේම තෘප්තිමත් සෞඛ්‍ය වෘත්තිකයන් සිටීමත් අත්‍යවශ්‍යයි. නමුත්, ඔවුන්ගේ තෘප්තිමත්භාවය පැත්තෙන් බැලුවාම පවතින්නේ ඛේදනීය තත්ත්වයක්. අද සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් රට අත්හැර යනවා. මේ තත්වය තුළ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය සිදු විය යුත්තේ කොහොම ද කියලා සලකා බැලිය යුතුයි.

ඒ වෙනුවෙන් ගත යුතු මූලික පියවර හතරක් තිබෙනවා. අධ්‍යාපනය, නියාමනය, මූල්‍යමය සහ මූල්‍යමය නොවන සහයෝගය ලබා දීම, වෘත්තීයමය සහ පෞද්ගලික මට්ටමේ දියුණුවට ලබා දෙන සහයෝගය තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය විද්‍යාත්මකව සිදු කරනවා. අධ්‍යාපනයේදී ප්‍රාථමික තත්වයෙන් පසුව සෞඛ්‍ය අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයකින් යුතුව ලබා දීම අවශ්‍යයි. ඒ වාගේම යාවත්කාලීන කරමින්, ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ වාගේම නියාමනය සිදු කළ යුත්තේ, රජයේ ස්වාධීන, දේශපාලන බලපෑම්වලින් තොර වූ ක්‍රියාවලියක් තුළින්. ඒ වාගේම මූල්‍යමය සහ මූල්‍යමය නොවන ක්‍ෂේත්‍රවලින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තෘප්තිමත්ව තබා ගැනීම ඉතාම වැදගත්. පසුගිය කාලයේ පනවන ලද ඉතාමත් අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා වෛද්‍යවරුන් දැඩි පීඩනයකට ලක්ව රට හැර යන මට්ටමට පත් වුණා. දුෂ්කර පළාත්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්ට නිසි පරිදි නේවාසික පහසුකම් පවා ලබා දී නැහැ. ඒ වාගේම අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ටද අවශ්‍ය මූලික පහසුකම්, දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ලබා දීම අවශ්‍යයි. ඒ වාගේම වෛද්‍ය ක්‍ෂේත්‍රය කියන්නේ දිනෙන් දිනම යාවත්කාලීන වන දැනුමක් අවශ්‍ය ක්‍ෂේත්‍රයක්. ඔවුන්ගේ වෘත්තීයමය සහ පෞද්ගලික සංවර්ධනයට නව දැනුම සහ තාක්‍ෂණය යොදා ගනිමින්, ඉදිරියට යා යුතුයි. විශ්වවිද්‍යාල, වෘත්තීය පුහුණුවට සුදුසු වෙනත් ආයතන වාගේම කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින්, වෘත්තීය සහ පෞද්ගලික ජීවිත ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මා සඳහන් කළ මේ මූලික කරුණු එකට ගමන් කරන ප්‍රතිපත්තිය ජාතික ජන බලවේගය විසින් පිළිගෙන තිබෙනවා. රෝගීන්ට පමණක් නොවෙයි, රටේ සමස්ත ජනතාවට පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න මේ තුළින් ඉඩකඩ සැලැසෙනවා.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගැඹුරින් සලකා බලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ ශල්‍ය වෛද්‍ය කිත්සිරි සේනානයක

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව පොහොසත් රටක් ඇති කරන්න ඉවහල් වන මූලික සාධකය සෞඛ්‍යය. මේ වෙනුවෙන් ඩිජිටල්කරණය සහ නවෝත්පාදනය යොදා ගැනීම අවශ්‍යයි. ලෝකයේ පළමුවැනි රෝහල මිහින්තලේ පිහිටා තිබූ බවත්, ඒ කාලයට සාපේක්‍ෂව දියුණු සෞඛ්‍යයක් පැවැති බවත් තහවුරු වී තිබෙනවා. අද වෙන කොට අප යම් කිසි සෞඛ්‍ය දර්ශක මත සිටියත්, දියුණු රටවල මට්ටම සමඟ බැලීමේදී ගැටලු රැසක් පවතිනවා. විශේෂයෙන්ම ඩිජිටල්කරණය සියලුම ක්‍ෂේත්‍රවලට අවශ්‍යයි වාගේම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අතිශයින්ම වැදගත්. විදේශ රටවල අත්දැකීම් තිබෙන මෙතැනට රැස් වී සිටින බොහෝ වෛද්‍යවරුන් අපේ රටේ තත්වය ගැන රෝගියා ඇතුළත් කර ගැනීමේ සටහනේ සිටම කනගාටුදායක තත්වයක සිටින බව අත්දැකීමෙන් දන්නවා. ඩිජිටල් දත්ත පද්ධතියකට රෝගියකු ඇතුළත් කර ගැනීම තුළින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අනවශ්‍ය පිරිවැය අඩු කර ගැනීම වාගේම දිගුකාලීනවත් ඉතාම වැදගත්. මම සේවය කරන අනුරාධපුර ශික්‍ෂණ රෝහලට පදවිය, කැබිතිගොල්ලෑව වැනි ඈත ප්‍රදේශවල ජනතාව පැමිණෙනවා. සමහර විට විශේෂඥ වෛද්‍යවරයකු හමු වන්න හැතැප්ම සියයක් පමණ එන්න සිදු වෙනවා. නමුත්, ඩිජිටල්කරණය මඟින් ඈත ගම්වල ඉන්න අම්මා, තාත්තාලට වේගයෙන් අඩු පිරිවැයක් යටතේ සෞඛ්‍ය පහසුකම් ලබා දිය හැකියි. තව පැත්තකින් ඖෂධ ගැනීමට පවතින දිගු පෝලිම් අවසන් කිරීමට ඩිජිටල්කරණය අතිශයින් වැදගත්. වකුගඩු රෝගීන්, තැලසීමියා රෝගීන් කොපමණ ඉන්නවා දැයි නිශ්චිතව දන්නේ නැහැ. සෞඛ්‍ය ප්‍රගමණය වෙනුවෙන් මේ දත්ත ජාලගත කර තිබීම අතිශය වැදගත්. මෙවැනි කරුණු විශ්ලේෂණාත්මකව ගැඹුරින් සලකා බලා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කර තිබෙනවා. වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනවල කාඩ් එකක් ලබා දී ප්‍රතිකාර ගැනීමේ ක්‍රමයට සීමා වී ඇති බව පෙනෙනවා. සෞඛ්‍යය සම්බන්ධයෙන් නව්‍යකරණය ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ආර්ථික වශයෙන් රටක් වැටී තිබෙන අවස්ථාවක නවෝත්පාදනය අතිශයින් ම වැදගත්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *