Latestදේශීය

වාර්තාගත වී අස්වැන්නක්

2024 මෙවර යල කන්නයේ දී වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් වෙනත් යල කන්නවල දී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.6ක් හෝ මෙට්‍රික් ටොන් මිලියන 02ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී ඇත. නමුත් මෙවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් දක්වා ඉහළයාම නිසා රටට අවශ්‍ය වාර්ෂික සහල් ප්‍රමාණය සපුරා ගැනීමට ප්‍රමාණවත් වේ.

අපේ රටේ මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 200,000කි. ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ වේ.

පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක වී අස්වැන්නක් ලැබීම හා මෙවර යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 2.6ක වී අස්වැන්නක් ලැබීම නිසා මෙම වසරේ සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.8ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමගින් නිෂ්පාදනය කර ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 03 ඉක්මවනු ලබයි. මේ හේතුවෙන් වසර ගණනාවකින් පළමුවරට මෙරට සහල් අතිරික්තයක් මෙම වසර තුළ වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

රජය විසින් පොහොර සහනාධාරය ලබා දීම මෙන්ම පොහොර මිල අඩුවීම, වැඩි අස්වැන්නක් ලබා ගත හැකි නව බීජ විශේෂ හඳුන්වා දීම හා නව තාක්ෂණික ක්‍රම හදුන්වා දීම නිසා ඇතැම් වී වගා කලාපවලින් ඉහළම අස්වැන්නක් වාර්තා කර ඇත.

නිදසුන් ලෙස හම්බන්තොට, උඩවළව, අම්පාර, පොලොන්නරුව හා රත්නපුර යන ප්‍රදේශවලින් හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවා ලැබී තිබේ.

මේ නිසා මෙම වර්ෂය තුළ සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව සඳහන් කළ අමාත්‍යවරයා මෙවර යල කන්නයේ දී ගංවතුර නිසා හෙක්ටයාර් අක්කර ලක්ෂයක් පමණ වගා හානි සිදු නොවිනි නම් අස්වැන්න මීටත් වඩා ඉහළයාමට ඉඩ තිබු බව ද සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *