Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට අද නිවාඩු

සංචා­රක නව­සී­ලන්ත පිල සමඟ ගාල්ලේ පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ග­යේදී ශ්‍රී ලංකාව මුල් ඉනි­මට රැස් කළ ලකුණු 305ට පිළි­තුරු ලෙස නව­සී­ලන්ත පිල ඊයේ සියලු දෙනා දැවී ලකුණු 340ක් ලබා­ගත් අතර, ශ්‍රී ලංකාව දෙවැනි ඉනි­මට කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා තෙවැනි දිනය නිමා කළ හෙයින් කඩුලු 6ක් අතැ­තිව ලකුණු 202ක් ඉදි­රි­යෙන් ශ්‍රී ලංකා පිල සිටි­යේය.

දිමුත් සහ චන්දි­මාල්

දිමුත් සහ චන්දි­මාල්

තෙවැනි දිනය නිමා වෙද්දී කඩුල්ලේ රැඳී සිටින නායක ධනං­ජය ද සිල්වා හා ඇන්ජලෝ මැතිව්ස් යන දෙදෙ­නාම නොදැවී ලකුණු 34 බැගින් ලබා සිටි­යහ.

ජනා­ධි­ප­ති­ව­ර­ණය හේතු­වෙන් තර­ගයේ සිව්වැනි දිනය දා නිවාඩු දින­යක් ප්‍රකාශ කර ඇති බැවින් මේ ටෙස්ට් තර­ගය අද (21) දින නොපැ­වැත්වේ. තමන් ඡන්දය සඳහා ලියා­ප­දිංචි වී ඇති ඡන්ද බල­ප්‍ර­දේ­ශ­යට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමේ අව­ස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ට ලබාදී ඇති අතර, නව­සී­ලන්ත ක්‍රීඩ­ක­යන්ට අද නිවාඩු දිනයේ ඓති­හා­සික වටි­නා­ක­මක් ඇති ගාලු සිරි නැර­ඹීමේ අව­ස්ථාව උදා කර දී තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අව­ස්ථාව උදෙසා ඊයේ පස්ව­රු­වේම ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ට ගම්බිම් බලා පිටත් වීමේ අව­ස්ථව ලබා දී තිබූ අතර, යළි අද පස්ව­රු­වේම ගාල්ලේ නවා­තැ­න්ගෙන සිටින තරු පහේ හෝට­ලය වෙත වාර්තා කළ යුතු බව කණ්ඩා­යම් කළ­ම­නා­කා­රී­ත්වය ක්‍රීඩ­ක­යන්ට දැනුම්දී ඇත. ශ්‍රී ලංකා – නව­සී­ලන්ත පළමු ටෙස්ට් තර­ගයේ සිව්වැනි දිනය ලෙස හෙට (22) පෙර­වරු 9. 30ට යළි තර­ගය ආරම්භ කිරීම සැල­සුම වී ඇති බැවින් නිය­මිත වේලා­වට යළි හෝට­ලය වෙත පැමි­ණීම අනි­වාර්ය වේ.

පළමු ඉනිමේ ලකුණු පර­ත­රය අනුව ලකුණු 35ක් පිටු­ප­සින් සිට ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 2කට දැවී ගියද චන්දි­මාල් හා දිමුත් දෙවැනි කඩු­ල්ලට පන්දු 268කදී ලකුණු 147ක සබ­ඳ­තා­වක් එක් කිරී­මට සමත් වූහ. ආර­ම්භක පිති­කරු දිමුත් කරු­ණා­රත්න 39 වැනි ටෙස්ට් අර්ධ ශත­කය වාර්තා කර තිබි­යදී දඟ පන්දු යවන අජාස් පටෙල් එවූ පන්දු­ව­කට ඩ්‍රයිව් පහ­රක් එල්ල කිරී­මට ගොස් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී ලකුණු 83කට දැවී ගියේය. දිමුත් ඒ වෙද්දී පන්දු 127කට මුහු­ණදී හතරේ පහර 6ක් එල්ල කොට තිබිණි.

දිමුත් දැවී ගොස් ඕව­ර­යක් ගෙවෙද්දී අංක තුන පිති­කරු දිනේෂ් චන්දි­මාල් පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 61කට දැවී ගිය අතර, ඔහු සිය 29 වැනි ටෙස්ට් අර්ධ ශත­කය වාර්තා කළේය. පළමු ඉනිමේ ශත­ක­යක් ලබා­ගත් කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනි­මේදී ලකුණු 13කට සීමා වූවේය.

පෙරේදා දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 4කට ලකුණු 255ක් ලබා සිටි නව­සී­ලන්ත පිල ඊයේ තවත් ලකුණු 85ක් එක්කර ගනිද්දී ඉතිරි කඩුලු 6 බිඳ වැටිණි. දෙවැනි දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 18ක් ලබා සිටි ටොම් බ්ලන්ඩල් ඊයේ ලකුණු 25ක් ලබා සිටි­යදී දවා ගැනී­මට ප්‍රභාත් ජය­සූ­රිය සම­ත්වී­මෙන් නව­සී­ලන්ත කඩා­වැ­ටීම ආරම්භ විය. තවත් ඕවර 4ක් ගෙවී යද්දී ලකුණු 57ක් ලබා තම 11 වැනි ටෙස්ට් අර්ධ ශත­කය වාර්තා කළ ඩැරල් මිචෙල් දුවද්දී දැවී ගියේය. ඉතිරි කඩුලු 4 ලකුණු 49ක් තුළ දවා ගැනී­මට ශ්‍රී ලංකා පිල සමත් විය.

පන්දු යැවී­මේදී ප්‍රභාත් ජය­සූ­රිය කඩුලු 4ක්, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් හා ධනං­ජය ද සිල්වා කඩුලු 2ක් ලෙස දඟ පන්දු යව­න්නන් අතර කඩුලු බෙදී ගියහ. දඟ පන්දු­වට රජ දහ­නක් ලෙස හඳු­න්වන ගාලු තණ­ති­ල්ලෙන් වේග පන්දු­වට විශාල වාසි­යක් ගත් අඩි 6යි අඟල් 6ක් උසැති විලි­යම් ඕ’රූක් පළමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේ කඩුලු 3ක් දවා­ගෙන සිටී. 23 හැවි­රිදි ඕ’රූක් ටෙස්ට් ඉනි­ම­කදී කඩුලු 5 බැගින් දවා­ගත් දෙවැනි අව­ස්ථාව මේ තර­ග­යේදී සට­හන් කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම – 305 (ඕවර 91.5) කමිඳු මෙන්ඩිස් 114, කුසල් මෙන්ඩිස් 50 (විලි­යම් ඕ’රූක් 55/5, ග්ලෙන් පිලිප්ස් 52/2, අජාස් පටෙල් 60/2)

නව­සී­ලන්ත පළමු ඉනිම
ටොම් ලෙතම් ඇ.(සදීර) ප.ජය­සූ­රිය 70
ඩ්වෙන් කොන්වේ ක.මු.ක. ප.රමේෂ් 17
කේන් විලි­ය­ම්සන් ඇ.කුසල් ප.ධනං­ජය 55
රචින් රවින්ද්‍ර ප.ධනං­ජය 39
ඩැරල් මිචෙල් දුවද්දී දැවී ගියා 57
ටොම් බ්ලන්ඩල් ඇ.ධනං­ජය ප.ජය­සූ­රිය 25
ග්ලෙන් පිලිප්ස් නොදැවී 49
මිචෙල් සැන්ට්නර් ඇ.කුසල් ප.ජය­සූ­රිය 2
ටිම් සවුති ප.ජය­සූ­රිය 3
අජාස් පටෙල් ක.මු.ක. ප.රමේෂ් 6
විලි­යම් ඕ’රූක් ප.රමේෂ් 2
අති­රේක 15
එක­තුව සිය­ල්ලන් දැවී (ඕවර 90.5) 340
කඩුලු බිඳ වැටීම: 1-63, 2-136, 3-187, 4-196, 5-269, 6-291, 7-293, 8-297, 9-304, 10-340
පන්දු යැවීම: අසිත 7-1-25-0, කුමාර 12-5-28-0, ධනං­ජය 7-0-31-2, රමේෂ් 23.5-1-101-3, ජය­සූ­රිය 40-5-136-4, කමිඳු 1-0-8-0.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම
පැතුම් නිශ්ශංක ඇ.සවුති ප.ඕ’රූක් 2
දිමුත් කරු­ණා­රත්න ප.පටෙල් 83
දිනේෂ් චන්දි­මාල් ඇ.ලෙතම් ප.ඕ’රූක් 61
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 34
කමිඳු මෙන්ඩිස් ඇ.මිචෙල් ප.ඕ’රූක් 13
ධනං­ජය ද සිල්වා නොදැවී 34
අති­රේක 10
එක­තුව කඩුලු 4ක් දැවී (ඕවර 72) 237
කඩුලු බිඳ වැටීම: 1-6, 2-153, 3-153, 4-178
පන්දු යැවීම: ඕ’රූක් 12-2-37-3, පටෙල් 19-3-68-1, සැන්ට්නර් 14-2-51-0, සවුති 10-3-15-0, පිලිප්ස් 12-1-50-0, රවින්ද්‍ර 5-0-11-0.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *