අනුර ජනාධිපති
9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා වූ මැතිවරණ ක්‍රියාවලිය අද(22) සන්ධ්‍යාවේ අවසන් වූ අතර මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් 2024 ජනාධිපතිවරණ රාජකාරියේ නිමාව සනිටුහන් කරමින් 9 වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ නම ප්‍රකාශයට පත්කරන ලදි. ඒ ඡන්ද 5634915ක් ලබා ගනිමින් සහ දෙවන මනාපය ලෙස 105264ක ජන ප්‍රසාදයක් හිමිකර ගනිමින් මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමිකරගත් ජනාධිපති අපේක්ෂකයා ලෙසයි.
ජනාධිපතිවරණයේ ජය තහවුරු වීමෙන් අනතුරුව අනුර දිසානායක මහතා තම නිල ෆේස්බුක් ගිණුම හරහා පහත සටහන ජනගත කර තිබුණි.
“සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.
අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.
සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුසල්මානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!”