Latestදේශීය

නාවික හමුදාව වෙරළ පිරිසිදු කරයි

2024 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය නිමිත්තෙන්, නාවික විධානයන් ආවරණය වන පරිදි, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් 2024 සැප්තැම්බර් මස 28 වන දින උදෑසන ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුවන හානිය වළක්වා, සුරක්ෂිත සමුද්‍රීය පරිසර පද්ධතියක් මතු පරපුර වෙත දායාද කරදීමේ අරමුණින්, වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය දක්වයි.

ඒ අනුව, බටහිර නාවික විධානය මඟින් ගාලු මුවදොර වෙරළ තීරයද, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රීකුණාමලය නාවික තටාකංගනයේ වෙරළ තීරයද, උතුරු මැද නාවික විධානය මඟින් පියර්ගම සහ මුලන්කාවිල් වෙරළ තීරයද, ගිනිකොණ නාවික විධානය මඟින් පානම සහ කල්මුණේ වෙරළ තීරය සහ දකුණු නාවික විධානය මඟින් මිරිජ්ජවිල, මහමෝදර, නාරිගම, තංගල්ල යන වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් 2024 සැප්තැම්බර් 28 වන දින උදෑසන මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාවට නැංවීම සිදුකෙරිණි. එහිදී, එම වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් එක්රැස් කර වෙරළ තීරයන්ගෙන් ඉවත් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා නාවික හමුදා මූලස්ථානය සහ නාවික විධානයන් නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් සහභාගී වී සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *