Latestදේශීය

මහමැතිවරණයට බිලියන 11ක් වෙන් කරයි

එළැඹෙන මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඒකාබද්ධ අරමුදලින් අරමුදල් නිකුත් කිරීමට… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ (4) අනුව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 වර්ෂය වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා විසින් පියවර ගැනීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කළ බව ඇමැති මණ්ඩලයේ ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම, මහ මැතිවරණය පැවැත්වීමට අදාළව 2025 වර්ෂයේදී නිරවුල් කළ යුතු වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 06ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂිත අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කර දීමට ද ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා දුන් බව ද හෙතෙම කීවේය.

අංක 2403/13 හා 2024-09-24 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ 09 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇති අතර, 2024-11-14 දින පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරනු ලැබ තිබෙන බවත් එහෙත්, 2024 අය-වැය ඇස්තමේන්තු තුළ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර නැති බවත් ඒ මහතා පැවැසීය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *