Latestදේශීය

මිනිස් ජාවාරම් සිදුකළ ආයතන දෙකක් වටලයි

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතන 2ක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් වැටලීම් කර ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ Premium Work Force Recruitment International Ltd නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් රුමේනියා ඇතුළු විවිධ රටවල රැකියා ලබාදීම සඳහා බඳවා ගැනීම් සිදුකරන බවට විමර්ශන අංශයට ලද තොරතුරක් මත විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානය වැටලීම් කර තිබේ. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර සහිත ලිපිගොනු 98 ක් හා විවිධ රටවල රැකියා ලබාදීමට අදාළ තවත් ලිපිගොනු රැසක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගන්නා ලදී.

අදාළ ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර, මාතර, අකුරැස්ස ප්‍රදේශයේ Ontario International Holdings නම් ආයතනයක් මගින් විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක් අනුව, කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් සිදුකළ සොයාබැලීමේදී අදාළ ස්ථානය නීතිවිරෝධි ලෙස පවත්වාගෙන යනු ලබන ආයතනයක් බවට අනාවරණය වී තිබේ. ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් අදාළ ස්ථානය වැටලීම් කළ අතර, අදාළ ස්ථානයේ හිමිකරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 2ක්, ජීව දත්ත පත්‍රිකා, ලියාපදිංචි අයදුම්පත්, රැකියා පෝරම හා තවත් ලේඛන රැසක් නිළධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *