Latestවිදේශීය

ගාසා තීරයට, ලෙබනනයට පහර දුන්නොත් ආයෙත් ඊශ්‍රායලයට පහර දෙනවා – ඉරානය

ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල නාශක පද්ධතියෙන් ඉරාන බැලැස්ටික් මිසයිල විශාල ප්‍රමාණයක් ගුවනේදීම විනාශ කිරීමට සමත්වීමෙන් ඉරානයේ අරමුණු ඉටු නොවුණු බවත්, ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රතිචාර දැක්වීම සහතික බවත් එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල රජයේ රූපවාහිනි සේවයෙන් ජනතාව ඇමතූ අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ ප්‍රතිචාරය ඉරාන ප්‍රහාරයට වඩා දරුණු විය හැකි බවය.

මේ අතර  ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඉරානයේ සහ හෙස්බුල්ලා, හමාස් සංවිධානවල ජ්‍යෙෂ්ඨ නායකයන් ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කිරීම හේතුවෙන් බවට ඉරාන රජය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මැදපෙරදිග දරුණු යුද්ධයක පෙරනිමිති පහළ කරමින් ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරය පැයකට ආසන්න කාලයක් පැවති බව ද වාර්තා වේ.

ඉදිරියේදී ඊශ්‍රායලය තවදුරටත් ලෙබනනයට සහ ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන්නේ නම් මීළඟ පියවර වඩාත් දරුණු වන බවට ද ඉරාන රජය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි හමුදා කඳවුරු තුනක් ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කළ බවත්, එය සාර්ථක වූ බවත් ඉරානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *