IMF සමග සාකච්ඡා අරඹයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා ආරම්භ විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (02) මෙරටට පැමිණියහ.
නව රජය මඟින් IMF සාකච්ඡා සඳහා පත් කර ඇති ආර්ථික කණ්ඩායම හා එම නියෝජිත පිරිස අතර හමුවක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම එම නියෝජිතයන්ගේ මෙම සංචාරයේ අරමුණයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවති වැඩසටහන පිළිබඳ සමාලෝචනයක් මෙහිදී දෙපාර්ශ්වය විසින් සිදු කරන ලද අතර එම ඉදිරි කටයුතු වෙනුවෙන් වූ සැලසුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.
ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක ආකල්පය ඉහළ නංවමින් වත්මන් රජය යටතේ රට තුළ සිදුවෙමින් පවතින නව ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සිය ප්‍රශංසාව පළ කළ අතර ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක පියවරක් මෙහිදී සනිටුහන් කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්, නේවාසික නියෝජිත ආචාර්ය සර්වත් ජහාන් සහ ආර්ථික විද්‍යාඥ මානවී අබේවික්‍රම මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික ප්‍රතිපත්ති කවුන්සිලයේ සභාපති සහ ආර්ථික කටයුතු සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, මහාචාර්ය සීතා බණ්ඩාර රණතුංග, සුනිල් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, අමරසේන අතුකෝරළ යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.