Latestදේශීය

තවත් ඉන්දීය ධීවර යාත්‍රා 4ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව ඊයේ (09) යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි එක් දෙනෙකු (21) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. 

ඒ අනුව, ඊයේ දහවල් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක්, එම විධානයට අනුයුක්ත නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා හතරක් (04) සමඟ ඉන්දීය ධීවරයින් විසි එක් දෙනෙකු (21) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.  

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර (04) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසි එක් දෙනා (21) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා පනස් නවයක් (59) සහ ඉන්දීය ධීවරයින් හාරසීය තිස් හතර දෙනෙකු (434) නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *