Latestදේශීය

ප්‍රතිවාදීන්ගේ අයිතියට ගරුකරමු, අපි අපේ දේශපාලනය කරමු – අනුර දිසානායක

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමි අපි අපේ දේශපාලනයේ යෙදිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ තලවතුගොඩ ගෑන් මොනාච් හිදී පැවති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයින්ගේ පැවති හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක

“පසුගිය ජනාධිපතිවරණයේ දී අපි විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. ලංකාවේ මතවාදීමය සංස්කෘතික තලයේ තීව‍්‍ර තරගයක් තිබුණු ජනාධිපතිවරණයක්. පැරණි අසාර්ථක ආර්ථික, දේශපාලනික ගමන ඉදිරියට ගෙන යාම වෙනුවෙන් පෙනීසිටි කඳවුර ඉදිරියට ගෙනයාම සහ ඊට එරෙහිව නව ආර්ථික හා දේශපාලන, සංස්කෘතික ගමනක් මෙන්ම පාලනය සහ ජනතාව අතර සබඳතාවක් පවතින අප නියෝජනය කළ කඳවුර අතර එම තීව‍්‍ර තරඟය පැවැතියා. මෙයට පෙර පැවැතියේ, පැරණි දේශපාලන කඳවුර ඇතුළේම වැඩි ඡන්ද ලබා ගන්නේ කවුරුන්ද කියන තරඟයයි. නමුත්, මෙවර සටන තිබුණේ, පැරණි ගමන්මෙගේම යනවාද? නැතිනම්, අලුත් දේශපාලන පරිවර්තනයකට ලක්කරන දිශාවකට යනවාද කියන තරඟයයි. ජනතාව දැඩි තීරණයක් අරගෙන ජාතික ජන බලවේගයේ අපව ජයග‍්‍රහණය කරවූවා. ජනතාවගේ පැත්තෙන් බැලුවොත්, එය ඔවුන් තැබූ අවදානම්සහගත පියවරක්; ඒ වාගේම අධිෂ්ඨානශීලී පියවරක්; ඒ වාගේම ධෛර්යසම්පන්න පියවරක්. ඒ තීරණය ගැනීමට අධිෂ්ඨානය සහ විශ්වාසය තිබුණු ජනතාවට අපි අපේ ස්තුතිය සහ ගෞරවය පිරිනමනවා.

ඒ මැතිවරණයේදී අනෙක් කඳවුර සතුව මුදල්, මාධ්‍ය, රාජ්‍ය බලය කොතරම්ද කියලා පැහැදිලි වුණා. තැපැල් ඡන්දයට පෙර දිනයේ දී වැටුප් වැඩි කිරීම පිළිබඳ යෝජනා පවා ඉදිරිපත් කිරීමට ඔවුන් බලවත්ව සිටි අවස්ථාවක රටේ ජනතාව අපව විශ්වාස කර ඡන්දය ලබා දුන්නා. අපි අලුත් මතවාදයක් සහ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළත්, ඊට අවශ්‍ය ශක්තිමත්ම දේශපාලන නායකත්වයක් තිබුණොත් පමණයි එම මතවාදය සහ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත් කළ හැක්කේ. එය ස්භාවිකව ගලාගෙන යන ගමනක් නොවෙයි. පවතින තත්වය වෙනස් කිරීමට නම්, ශක්තිමත් දේශපාලන නායකත්වයක් සහිත යාන්ත‍්‍රණයක් අප සතු විය යුතුයි. දැන් අපේ දේශපාලන බලය පවතින්නේ ඉතා කුඩා තැනක. ජනාධිපතිවරයා ඇතුළු තුන්දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් තිබෙන්නේ. මේ ධෛර්යවන්ත හැරවීම යථාර්ථයක් කිරීම සඳහා එය කිසිසේත්ම ප‍්‍රමාණවත් වන්නේ නැහැ. නව ශක්තිමත් දේශපාලන බලවේගයක් හදා ගන්නා තෙක් සංක‍්‍රාන්ති කාලයක් ගතකිරීමට කැබිනට් මණ්ඩලයේ අප තිදෙනාට පැවරී තිබෙන්නේ. මේ සංක‍්‍රාන්ති අවධියේ දී අපට කළ හැකි දේත්, අවධානය යොමු කළ යුතු දේත්, අපේ කාර්යක්‍ෂමතාවත් සහ අප ඉවසීමෙන් කටයුතු කළ යුතු අවස්ථාත් තිබෙනවා. සමහර තීන්දු තීරණ ගෙන ක්‍රියාවට නැඟීම සඳහා ප‍්‍රබල දේශපාලන බලයක් තිබිය යුතුයි. මේ නොවැම්බර් 14 වැනිදා ඒ දේශපාලන බලය අත්පත් කර ගැනීම අප හමුවේ පවතින අභියෝගයයි. අපේ වැඩපිළිවෙළ සහ කි‍්‍රයාකාරීත්වය වේගවත්ව පරිවර්තනීය දිශාවකට යොමු කිරීම සඳහා නොවැම්බර් 14 වැනි දින පාර්ලිමේන්තුවේ ශක්තිමත්ම බලයක් අත්පත් කරගත යුතුයි.

ශක්තිමත්ම බලය කියන්නේ කුමක්ද? 2010 මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පාලනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. නමුත්, ඉන් අවුරුදු පහකට පසුව ඔවුන් පරාජය වුණා. 2020දී ගෝඨාභය රාජපක්‍ෂගේ පාලනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණා. හැබැයි, අවුරුදු දෙකහමාරක් යන්නත් පෙර පාර්ලිමේන්තුවේ බලය සීසීකඩ ගියා. ජනාධිපතිවරයාට ගෙදර යන්න සිද්ධ වුණා. ශක්තිමත් බලය කියන්නේ පාර්ලිමේන්තුවේ සිටින ඔළුගෙඩි ගණන පමණක් නොවෙයි. එහෙම නම්, කවරාකාර නියෝජනයක්ද අපට අවශ්‍ය වෙන්නේ? එය ප‍්‍රමාණාත්මක නියෝජනයක් වාගේම සමාජය අපේක්‍ෂා කරන ගුණාත්මක ගතිලක්‍ෂණ විශාල ප‍්‍රමාණයකින් ඒ ශක්තිමත් බලය නියෝජනය විය යුතුයි. එසේ නොවී පාර්ලිමේන්තුවේ මිනිසුන්ගෙන් පිරුණු බලය වැඩක් නැහැ. එහෙම නම්, ඒ ගුණාත්මක බව කැටිව එන්නේ අපේක්‍ෂක ඔබ සැමදෙනා. ප‍්‍රමාණාත්මක බව ලබා දෙන්නේ ජනතාව. ජනතාව ලබා දෙන ප‍්‍රමාණය කොතරම් ගුණාත්මකද යන්න තහවුරු කරන්නේ ඔබ සැමදෙනා.

පසුගිය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ තිබුණේ, එය කැත පන්නයේ පිරිසකගෙන් පිරුණු තැනක් යන හැඟීමයි. නීතියට උඩින් සිටීම, මහජනයාට වඩා උඩින් ඉන්න පිරිසක් ලෙස මහජන බලය යොදා ගැනීම පිළිබඳව දශක ගණනාවක විවේචනයක් තිබුණා. 2020 පසුගිය පාර්ලිමේන්තුවේ ආරම්භය සහ 2024 අගභාගය ගැන පමණක් සලකා බැලුවත්, 2024 අවසානය වන විට වඩාත් විනාශකාරී මට්ටමක තිබුණා. අප පාර්ලිමේන්තුව තුළ සිටිමින්, ඒ විනාශකාරීත්වයේ ගමන ඇස් දෙකෙන් දැක්ක මිනිසුන්. කතානායකවරයාගේ සිට, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාගේ සිට, විපක්‍ෂනායකවරයාගේ සිට විනාශකාරී පරිවර්තනයට ලක් වූ ආකාරය ඒ ගෙවී ගිය වසර හතර තුළ අප දැක්කා. එහෙම නම්, අපට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් ශක්තිමත් පමණක් නොවෙයි, සියලු ගණයේ අවර වර්ගයේ කොන්දේසිත් පරාජයට පත් කරන ලද මිනිසුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමයි. ඒ වෙනුවෙන් කැප වී සිටින්නේ ඔබ සියලු දෙනායි. පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ දී ජාතික ජන බලවේගය වෙත විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුරවැසියන් අපේක්‍ෂාවෙන් බලාගෙන සිටිනවා. ජාතික ජන බලවේගය කෙරෙහි තබා තිබෙන අපේක්‍ෂාවන් මුදුන්පත් කරගත හැක්කේ ඔබ තනි තනිව ඒ වෙනුවෙන් කොපමණ කැප වනවාද, සාර්ථක වනවාද යන කොන්දේසිය මතයි.

ඔබ තනි තනිව කැප වීමට, සාර්ථක වීමට සූදානම් නම්, පුරවැසියන් ජාතික ජන බලවේගය කෙරෙහි තබා තිබෙන බලාපොරොත්තුව සාර්ථක වෙනවා. අපේ රටේ මහජනතාව ගුණාත්මක පාර්ලිමේන්තුවක් කෙරෙහි තබා තිබෙන අපේක්‍ෂාව කිසිදු ආකාරයකින් බිඳවට්ටන්න ඉඩ නොදී ප‍්‍රමාණයෙන් බහුතරයක් වී ගුණයෙන් විශාල කාර්යභාරයක් කරට ගත් පිරිසක් වෙතින් සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමේ වගකීම ඔබට පැවරී තිබෙනවා.

අපට පැති ගණනාවකින් ජයග‍්‍රහණය කළ හැකියි. ජනාධිපතිවරණයේ දී අපට එරෙහි වූවන් ගෙන යන ලද ප‍්‍රබන්ධ, විවේචන ඔවුන්ටම පාරාවළල්ලක් වී තිබෙනවා. එහෙම නම්, අප ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයන්ට ඉදිරිපත් කළ යුතු වන්නේ යථාර්ථවාදී විවේචන පමණක් බවට එයින් පාඩමක් ඉගෙනගත යුතුයි. ප‍්‍රබන්ධ විවේචන ඕනෑම අවස්ථාවක ජනතාව ඉදිරියේ අසාර්ථක වෙනවා. අපට එරෙහිව ඉදිරිපත් කරන ලද ප‍්‍රබන්ධ විවේචන සියල්ලක්ම ගෙවී ගිය දින 21කටත් අඩු කාලය තුළ ජනතාව හමුවේ බොරු බවට පත්වී තිබෙනවා. අපට එරෙහිව ප‍්‍රබන්ධ ඉදිරිපත් කළ අයගේ ඇස් ඉදිරිපිට ඒ ප‍්‍රබන්ධ සුනුවිසුණු කිරීමට හැකිවී තිබෙනවා. දේශපාලන වේදිකාවේ දී අපට එරෙහිව කිසිවක් කිව නොහැකි තරමට ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය අද දුබලවී සිටිනවා. අවසන් වශයෙන් ගතහොත්, ප‍්‍රාජතන්ත‍්‍රවාදය රැකීමට පාර්ලිමේන්තුවේ විපක්‍ෂයක් පිහිටුවා ගැනීම පවා ඔවුන්ට අභියෝගයක් වී තිබෙනවා. පුරවැසියන්ගේ පැත්තෙන් හිතුවත්, අප වෙනුවට වෙනත් කෙනකු තෝරා ගැනීමට බලපාන එකම සාධකය පැරණි දේශපාලන සබඳතාවන්ගෙන් මිදීමට නොහැකි වීම පමණයි. ලංකාවේ දිගුම කාලයකට පසු ජාතික ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගයේ කඳවුර වටා නැඟෙනහිර මුස්ලිම් ජනතාව සුවිශේෂී ගුණාත්මක වෙනසක් පෙන්වා තිබෙනවා. උතුරේ දෙමළ ජනතාවත් එසේමයි. කඳුකරයේ ජීවත් වන දමිළ පුරවැසියාත් අප කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. පළමුවරට එක් ජාතික ව්‍යාපාරයක් කෙරෙහි මේ රටේ සියලුම කණ්ඩායම් විශ්වාසය තබා තිබෙනවා. ජනාධිපතිවරණයේ දී අප කෙරෙහි උතුරේ විශ්වාසය තිබුණාට වඩා මහා මැතිවරණයේදී විශ්වාසය තබන බව පැහැදිලියි. නැඟෙනහිරදීත්, කඳුකරයේදීත් ඒ ආකාරයෙන්මයි. ජනාධිපතිවරණය අප දිනන ඡන්දයක් බව ඒ ජනතාව තුළ තහවුරු කරන්න අප සමත් වුණේ නැහැ. නමුත්, ජනාධිපතිවරණ ජයග‍්‍රහණය ඔවුන් තුළ විශාල ලෙස පිබිදීමකට හේතුවී තිබෙනවා.

උතුරේ ජනතාව වෙනුවෙන් පත්වන නියෝජිතයන් අපත් සමඟ එක්වී වැඩ කරන්න සූදානම් නැතිනම්, උතුරේ ජනතාව අපත් සමඟ එක්වී වැඩ කරන්න සූදානම් බව අපට දැන් තහවුරුවී තිබෙනවා. ඒ නිසා උතුරෙන්, නැඟෙනහිරෙන්, මධ්‍ය කඳුකරයෙන් විශාල ජයග‍්‍රහණයක් ජාතික ජන බලවේගයට ලැබෙන බව පැහැදිලියි. ‘මාලිමාවේ අපි එකට’ කියන ආදර්ශ පාඨය ශක්තිමත් ලෙස ජයග‍්‍රහණය කළ යුතුව තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ දේශපාලනයෙන් විශ‍්‍රාම යනවා කියන කතාවක් තිබුණේ නෑ. එක්කෝ පරදිනවා, නැත්නම්, මැරෙනවා. ඊට වඩා දේශපාලනයක් ඉතිහාසයේ තිබුණේ නැහැ. නමුත්, ලංකාවේ පළමුවැනි වතාවට දේශපාලනයෙන් විශ‍්‍රාම යනවා කියන වාක්‍ය ඛණ්ඩයක් ලංකාවේ දේශපාලනයට එකතු වී තිබෙනවා. දේශපාලන පරිවර්තන කියන්නේ මෙවැනි තත්වයන්ට. අප විසින් සමාජයට ඇති කරනු ලබන බලපෑමෙන් අනෙකාගේ හැසිරීම තීරණය කිරීමත් දේශපාලන පරිවර්තනයක්. අප විසින් සකස් කරගෙන තිබෙන වැඩපිළිවෙළ අනුපිළිවෙළින් ක්‍රියාත්මක කිරීම පමණක් පරිවර්තනය කියන ගුණය නිරූපණය කෙරෙන්නේ නැහැ. අනෙකාට ඇති කරන බලපෑම හමුවේ ඇතිවන තත්වයත් දේශපාලන ගුණාත්මක වෙනසක්. නාමයෝජනා අපේක්‍ෂාවෙන් සිටි අය එය නොලැබීමෙන් හඬාවැටෙද්දී, මාලිමාවේ අපි එකට එක් වෙමින් ඉදිරියට යනවා. මේ සාධක සියල්ලම තහවුරු කර තිබෙන්නේ, මේ මැතිවරණයෙන් අපට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත හැකි බවයි.

අනෙක් පැත්තෙන් අපට එරෙහිව අත්දැකීම් නැති විශාල පිරිසක් එන්න යන බව කියනවා. අපේ අපේක්‍ෂකයන්ට පාර්ලිමේන්තුවේ අත්දැකීම් නොතිබෙන්න පුළුවන්. නමුත්, දේශපාලනය සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ අභියෝගවලට මුහුණදී විවිධ අත්දැකීම් එකතු කරගෙන නොසැලී, ජයග‍්‍රහණ පිළිබඳ අධිෂ්ඨානයෙන්, කිසිවක් පෞද්ගලිකව අපේක්‍ෂා නොකරමින්, මහජනතාගේ පොදු වුවමනාව වෙනුවෙන් වැඩ කළ මුවහත් වූ පිරිසක්. ඒ නිසා පාර්ලිමේන්තුවට අලුත් වුවත්, දේශපාලනයට අලුත් නැහැ. මේ මාතෘභූමිය වෙනුවෙනුත්, පොදු ජනතාව වෙනුවෙනුත් අඛණ්ඩව වැඩ කර අත්දැකීම් ලැබූ අය පාර්ලිමේන්තුවට එනවා. පසුගිය ජනාධිපතිවරණය සැලැකිය යුතු ප‍්‍රමාණයකින් සාමකාමී මැතිවරණයක් වූයේ ඇයි? මැතිවරණයක් සාමකාමීද? නැද්ද යන්න තීරණය කරන්නේ එම මැතිවරණයට ඉදිරිපත් වී සිටින බලවත් කණ්ඩායම විසින්. මෙම ජනාධිපතිවරණයට පෙර පසුගිය සෑම මැතිවරණයකදීම පහර කෑමට ලක් වීම, කාර්යාල ගිනි තැබීම්වලට ලක්වීම, ඝාතනයට ලක්වීම ආදී වශයෙන් වින්දිතයන් බවට පත් වූයේ අපි. නමුත්, මේ ජනාධිපතිවරණයේදී බලවත්ව සිටියේ අප නිසා මැතිවරණ සමයේදී සාමකාමීව ක්‍රියා කළා. ලංකා මැතිවරණ ඉතිහාසයේ පළමුවරට පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් නොමැති දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පළමු පියවර තැබුවා. එය සංස්කෘතියක් බවට පත්කර ගැනීමට නම්, අඛණ්ඩව ප‍්‍රචණ්ඩත්වයෙන් තොර බව තහවුරු කරගෙන යා යුතුයි. අප අතේ රාජ්‍ය බලයත්, ආණ්ඩුකරණයත් තිබෙන නිසා ඉතිහාසයේ අන් කවරදාටත් වඩා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අප අපේ කැපවීම තහවුරු කරන්න ඕනෑ.

අනෙකා ඔවුන්ගේ කරුණු කියාවි. අප අපේ කරුණු ඉදිරිපත් කරනවා. අප අනෙකා දෙස බැලිය යුතු වන්නේ සමාන තැනක සිට නොව ඔවුන්ට වඩා උඩින් සිටිමිනුයි. ඒ වෙනුවෙන් වන මනසක් අප තුළ නිර්මාණය කරගත යුතුයි. අනෙකා ගැටුම්කාරී නම්, ඔහුට වඩා උඩින් සිට අප අපේ සාමකාමී බව ඔප්පු කළ යුතුයි. අනෙකා බලය වෙනුවෙන් හැකි සෑම දෙයම කරනවා නම්, අප කළ යුතු දේ පමණක් කිරීමට මනස සකසාගත යුතුයි. ඔවුන්ට වඩා දියුණු මනසකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්ප පිළිබඳ ගැඹුරු භාවිතයක් අප ඔප්පු කළ යුතුයි. ජනතාවගේ ජනමතය සාධාරණ ලෙස පිළිබිඹු කිරීම සඳහා අප අපේ කැපවීම තහවුරු කළ යුතුයි.

දේශපාලන පොරපිටියේ තව දුරටත් අප මුහුණට මුහුණ හැප්පෙන අයුරින් නොව අනෙකා දෙස උඩින් සිිට බැලීමෙන් සමාජයේ යහපත් ගුණාංග ශක්තිමත් කර ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි. සාධනීය ගුණාංග අත්පත් කරගනිමින්, නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ එළැඹුම ක්‍රියාවෙන් ඔප්පු කිරීමේ අවස්ථාව මේ මහා මැතිවරණයයි. අපේ ව්‍යාපාරය අනෙක් හැම ව්‍යාපාරයකටම වඩා සාධනීය ගුණාංගවලින් උසස් ව්‍යාපාරයක්. උසස් මනසකින් සහ උසස් ගුණාංගවලින් බහුල ව්‍යාපාරයක් බව ඇවැතුම්, පැවැතුම් තුළින්ම තහවුරු කළ යුතුයි. ග‍්‍රාම්‍ය, ගැටුම් සහිත කලබලකාරී ව්‍යාපාරයක් නොවන බව තහවුරු කළ යුතුයි. නව සමාජයක් නිර්මාණය කරන්නේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව තව දුරටත් සැකයක්, අවිශ්වාසයක් තිබෙන අයගේ එම සැකය දුරු කළ යුතුයි. කිසිදු වර්ගයේ කෝප වීමකින් තොරව දෙමාපියන් දරුවන් දෙස බලන ආකාරයෙන් අප අනෙක් අය දෙස බැලිය යුතුයි. අනේකවිධ දුක්ඛ දෝමනස්සවලට මුහුණ දී සිටින ජනතාවට ජීවිත අපේක්‍ෂාවක් ගෙන දෙන මෙම ව්‍යාපාරය උසස් මනසකින් යුක්ත වෙන්න ඕනෑ. ඔවුන්ට වඩා උසස් අරමුණුවලින් සමන්විත වෙනස් දේශපාලන ව්‍යාපාරයක් බව මැතිවරණ ව්‍යාපාරය තුළ පමණක් නොවෙයි, එය අපේ දේශපාලන සංස්කෘතිය බව තහවුරු කරන්න ඕනෑ. රටට නව දේශපාලන පරිවර්තනයක් සිදු කළ හැක්කේ ඒ තුළින්. මේ රටේ ජනතාව අධිෂ්ඨානශීලීව නිශ්චිත තීන්දුවක් ගත්තේ, අවදානමක් දරාගෙන බව මම ආරම්භයේදීම කිව්වා. සියයට තුනක තිබුණු ව්‍යාපාරයක් රටේ බහුතරයකගේ විශ්වාසය දිනාගත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වීමේදී මිනිසුන් මොන තරම් විශ්වාසයක්, අධිෂ්ඨානයක් අප කෙරෙහි තබන්න ඕනෑද? ව්‍යාපාරයක් ලෙසත්, පුද්ගලයන් ලෙස තනි තනිවත් මිනිසුන් කෙරෙහි අප වෙත තිබෙන වගකීම පිළිබඳව වගවීමට අප කැප වෙන්න ඕනෑ. ඒ විශ්වාසය බිඳකින්වත් බිඳවට්ටන්න අයිතියක් අපට නැහැ. එහෙම බිඳවට්ටනවා නම්, අප මිනිසුන්ද? අපේ ව්‍යාපාරය පැතිරුණු, විවිධ වගකීම් භාරගත්, ඒ වගකීම්වලට වගවන සාමුහික ව්‍යාපාරයක්.

ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රචාරණ කටයුතුවලට අනෙක් දේශපාලන ව්‍යාපාර බිලියන ගණන් වියදම් කරමින්, ඇඩ්වර්ටයිසින් කොම්පැනිවලට භාරදී තිබුණා. නමුත්, අපේ ව්‍යාපාරයේ සහෝදර සහෝදරියන් රාත්‍රී එළිවන තුරු නිඳිවරාගෙන විශාල කැප වීමකින් ප‍්‍රචාරක කටයුකු වෙනුවෙන් වැඩ කළා. අප ඔවුන්ගේ නමක් ගැන දන්නවාද? පෝස්ටර් නිර්මාණය කළේ කවුරුන්ද කියලා අප දන්නවාද? පෞද්ගලිකව කිසිවක් අපේක්‍ෂා නොකර මේ රටටත්, ජනතාවටත් මීට වඩා යහපත් ජීවිතයක් අත්කර දීම වෙනුවෙන් වෙහෙසෙන ව්‍යාපාරයක්. මේ කතා කරන මොහොතේදීත් වැස්සේ තෙමෙමින්, තමන් වෙත පැවරුණු වගකීම් ඉටු කරන සහෝදර, සහෝදරියන් සිටිනා බව අප මතක තබාගත යුතුයි. මේ මොහොතේත වැස්සට තෙමෙමින් ගංවතුරෙන් විපතට පත් ජනතාව සොයා යන පිරිසක් ඉන්නවා; ජාතික ව්‍යාපාරය ගොඩනැ`ගීමට වෙහෙසෙන පිරිසක් ඉන්නවා. ඔබ, අප ඒ ව්‍යාපාරයේ ප‍්‍රකාශකයන්; බහුජන නායකයන්; ආණ්ඩුකරණය සඳහා සූදානමින් සිටින අය. නමුත්, අපේ ව්‍යාපාරය පවතින්නේ ආණ්ඩුකරණය මත නොවෙයි. මේ ව්‍යාපාරය මොන තරම් ප‍්‍රමාණයකට ජනතාව සංවිධානය කරමින්, පෙළගස්වන්න සමන්විතවී තිබෙනවාද යන්න මත එය තහවුරු වෙනවා. සමාජ ව්‍යාපාරය ආණ්ඩුවක් තුළ පමණක් පවතිනවා නම්, බොහෝ දුරට ආණ්ඩුව අහිමි වන විට ව්‍යාපාරය අහෝසි වෙනවා. අපි සියයට තුනට වැටුණු අවස්ථාවේත් පාර්ලිමේන්තුවේ තිදෙනකු පමණක් සිටින අවස්ථාවේත් අනෙකා එක්ක සම තරඟකරුවන් ලෙස තරඟවැදුණේ සාමුහික ප‍්‍රයත්නයකින් තම තමන්ගේ වැඩ කොටසට වගවීම නිසයි. අපිට දේශපාලන ව්‍යාපාරයක් තිබුණු නිසයි. සංවිධාන කටයුතු, ප‍්‍රචාරක කටයුතු, රියැදුරකු ලෙස කටයුතු කිරීම, කාර්යාලය අතුපතු ගෑම, ආහාර පිසීම වැනි සියලු කටයුතුවල දී මැදිමත් වන සාමාජිකයින් තමයි මේ ව්‍යාපාරය ගොඩනගන්නේ. අපි සාමුහිකව කටයුතු කිරීම නිසයි සියලු අභියෝගවලට මුහුණ දිය හැකි වූයේ. ජයග‍්‍රහණ අත්පත් කර ගන්නේ ඒ තුළින්.

අපේ ව්‍යාපාරය ආණ්ඩුකරණයේ පමණක් කොටස්කරුවන් නොවෙයි. ඊට වඩා පැතිරුණු, අප හැම දෙනාගේම උරවල් මත වගකීම් පැවරුණු ව්‍යාපාරයක නියෝජිතයන් ලෙස ක්‍රියා කරනවා. උඩින් සිදුවන ඕනෑම අතපසුවීමක් පහළින් ප‍්‍රශ්න කිරීමට ලක් වීමේදී එයට මුහුණ දීමට සිදුවෙන්නේ භූමියේ කටයුතු කරන සහෝදරයා, සහෝදරියටයි. පහළ සාමාජිකයින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඒ නිසා අප කරන ඕනෑම කටයුත්තකදී ඉතා ප‍්‍රවේසමෙන් ක්‍රියා කළ යුතුයි. ජනතාවට පමණක් නොවෙයි, ව්‍යාපාරයටත් වග කියන දේශපාලන ව්‍යාපාරයක් අපි. එසේ නොවේ නම්, අප කිසිවෙකුත් මේ තැනට එසවෙන්නේ නැහැ. අපි ජනතාවට වාගේම ව්‍යාපාරයටත් වග කියන නායකයන් බවට පත් විය යුතුයි. මේ වන විට එළියේ පවතින කැත, දේශපාලන සංස්කෘතියේ කිසිදු ලක්‍ෂණයක් නොමැති මිනිසුන් බවට පත් විය යුතුයි. හැම විටම සාමුහික ක්‍රියාකාරීත්වයේ කොටස්කරුවන් බවට පත් විය යුතුයි. කිසිවක් අපගේ පෞද්ගලික ජයග‍්‍රහණ නොවේ. සමහර විට සමහර දේකට අප සුදුස්සන් වෙන්න පුළුවන්. සමහර දේකට අප නුසුදුස්සන් වෙන්න පුළුවන්. ඒ ස්වයං මැනීම අප තුළ තබාගත යුතුයි. තමන් තුළ තමන් පිළිබඳ ස්වයං හැඟීමක් වාගේ ම ස්වයං මැනීමක් අප තුළ නිතැතින්ම තබාගත යුතුයි. තීරණාත්මක මැතිවරණයක් අප ජයග‍්‍රහණය කර තිබෙනවා. එය ශක්තිමත් කර ගැනීමේ මැතිවරණයේ දී නියමු කාර්යභාරයක් ඔබට පැවරී තිබෙනවා. හැම දෙනාගේම අවධාරණය ලක් විය යුත්තේ, ‘මාලිමාවේ අපි එකට’ කියන ආදර්ශ පාඨයයි. එයින් කියැවෙන්නේ කරට අත දාගෙන ඉන්න එක විතරක් නොවෙයි. හැමදේම එක්ව දරා ගන්නා දේශපාලන ව්‍යාපාරයේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපි හැම දෙනාම එකාවන්ව වැඩ කරමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *