Latestදේශීය

තොරතුරු හෙළිවෙයි – ජොන්ස්ටන් හිරවෙයි

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කරන ලද බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය හිල්ටන් හෝටලය වෙත ගෙනවිත් අතහැර දමා ගොස් ඇත්තේ ගාමිණී අබේරත්න හෙවත් ‘ටැක්සි අබේ’ නමැත්තා විසින් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ගාමිණි අබේරත්න නමැත්තාගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

කාලයක සිට ගාමිණි අබේරත්න නමැත්තා හිල්ටන් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති බවත් ජනාධිපතිවරණයට පෙර සිටම මෙම මෝටර් රථය හෝටලයේ රථ ගාලේ නතර කර තිබූ බවත් හෝටල් කළමනාකාරිත්වය දැනුම් දී ඇත.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව කියන මෙම බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථය අමතර කොටස් ගෙන්වා එකලස් කරන ලද එකක් බව හෙළි විය. මෙම මෝටර් රථය ලියාපදිංචි කළ එකක් නොවන බවත් එහි ව්‍යාජ අංකයක් යොදා පාවිච්චි කර ඇති බවත් හෙළිවී ඇත.

මෙම මෝටර් රථයේ තිබී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි ද රහස් පොලිසිය සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද හිටපු ඇමැතිවරයා පවසා ඇත්තේ තමා අසනීප වී සිටින බැවින් පසුව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ටැක්සි අබේ නමැත්තා මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස ද කටයුතු කළේය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *