ඇප නැවතත් ප්රතික්ෂේපයි – ඇලෝසියන්ට ජම්පරය අන්දයි
රජයට අය විය යුතු රුපියල් කෝටි 355ක (බිලියන 3.55ක) වැට් බදු ගෙවීම් නොගෙවා පැහැරහැර ඇති බව කියන චෝදනාව යටතේ මාස හයක සිරදඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට ඉදිරිපත් කරන ලද අභියාචනය දෙවැනිවරටත් කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (16) ප්රතික්ෂේප කළේය.
අපරාධ නඩුවක් ලෙස සලකා ඇප ලබා දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විසින් කරන ලද ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙනු ලැබීය.
මෙම සිද්ධිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් සහතිකයක් මත ඉදිරිපත් කර ඇති බැවින් ඇප මත මුදා හැරීමට තමා හට ප්රතිපාදන නැති බව මහේස්ත්රාත්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ලබා දෙන ලද ලිහිල් වැඩ සහිත මාස හයක සිරදඬුවම විකල්ප දඬුවමක් වන බැවින් එය අපරාධමය නඩුකරයක් බවට පත් නොවන බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරනු ලැබුවේය.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රසික් සාරුක් සහ නීතිඥ අක්රම් මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.
මෙම සිද්ධියට අදාළව කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඉකුත්දා (14) ලබා දුන් මාස හයක සිරදඬුවම් නියෝගය නිෂ්ප්රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකු විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා එදින පස්වරුවේ ද ප්රතික්ෂේප කර තිබිණි.
රජයට ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් තමන්ට නියම කළ මාස හයක සිරදඬුවම නිෂ්ප්රභ කරන ලෙසත් ඔවුන් සිය අභියාචනය මඟින් ඉල්ලා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා අදාළ ඉල්ලීම ප්රතික්ෂේප කළේය.
2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු බදු මුදල වන රුපියල් බිලියන 3.55ක් ගෙවන ලෙසට විත්තිකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.
@දිනමිණ