කේරළ ගංජා කිලෝ 33ක් අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පසුගියදා (17) තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී සහ නාවික හමුදාව කච්චතිව් දුපතේ සිදුකළ මුර සංචාරයකදී රුපියල් මිලියන 13 කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ තිස් තුනයි ග්‍රෑම් අසු අටක (33.88) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරිමට ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව පසුගියදා (17) තලෙයිමන්නාරම නඩුකුඩා ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී පාර්සල් හතරක (04) අසුරන ලද කේරළ ගංජා කිලෝ 08 ග්‍රෑම් 88 ක පමණ තොගයක් සමඟ එම සැකකරු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
එමෙන්ම, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය විසින් 2024 ඔක්තෝබර් මස 17 වන දින කච්චතිව් දූපතේ ස්ථාපිත මැරින් අනුඛණ්ඩය යොදවා එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ පාමුර සංචාරයකදී, එම වෙරළ ප්‍රදේශයට ගොඩගසා තිබු පාර්සල් අටක (08) අසුරන ලද කේරළ ගංජා කිලෝ විසි පහක (25) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකරගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දහතුනකට (13) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, තලෙයිමන්නාරම නඩුකුඩා ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙතත්, කච්චතිව් දුපතේදි නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

