Latestදේශීය

පාස්කු වාර්තා පිළිබද ගම්මන්පිල හෙළිදරව් කළ මාධ්‍ය සාකච්ඡාව

පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානය විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා ඔහු එහිදී හෙළිදරව් කරමින් සිටියි.

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක් එවකට නියෝජ්‍ය පොලිස්පතින් රවී සෙනවිරත්න මහතාට ලිපියක් දැනුම් දී තිබූ බව වාර්තාවල ඇති බවත් හෙමෙ පැවසුවේය.

දින 12ක් තිස්සේ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන තිබූ බවද රවී සෙනවිරත්න මහතා වහා ක්‍රියාත්මක වූයේ නම් නම් අදාළ බෝම්බකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බවද ඔහු පැවසීය.

මෙම අපරාධය වලක්වා නොගැනීමෙ හේතුවෙන් රවි සෙනෙවිරත්න මහතාට අපරාධ නීය යටතේ දඬුවම් දිය යුතු බව අදාල වාර්තාවේ 41 වැනි පිටුවේ දැක්වෙය බවත් හෙතෙම පැවසුවේය.

එමෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද අදාළ රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම මත අපරාධ නඩු පැවරිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

රජයේ නිලධාරින් දා හත් දෙනෙකුට අපරාධ නඩු ගොනු කිරීමට මෙම වාර්තාවේ නිර්දේශනය කර ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

“අද 2024 ඔක්තෝම්බර් 21දා. අදට හරියටම අවුරුදු පහමාරකට කලින් සිදු වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ වැදගත් හෙලිදරව්වක් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. විපක්ෂයේ සිටින කාලයේ දී පොරොන්දු වුණු පරිදි පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාම ආණ්ඩුවත් මාලිමාවට සහය දෙන කණ්ඩායමුත් මට එරෙහිව යෝධ මඩ ප්‍රහාරයක් පටන් අරන්. මම ජනාධිපතිතුමාට බැන්නේ නෑ. අපහාස කලේ නෑ. එතුමා පොරොන්දු වුණු පරිදි පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලීමක් කළා විතරයි. ඊට වඩා දරුණු විධියට තමයි වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ලෙස එවකට සිටි ජනාධිපතිතුමන්ගෙන් පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන්න කියන ඉල්ලීම කලේ. මගේ ඉල්ලීමෙන් කුපිත වී සිටින මාලිමා පාක්ෂිකයින්ට දැක ගැනීමට අපි ඒ වීඩියෝව දැන් පොඩ්ඩක් බලමු.

ඊයේ ජනාධිපතිතුමා කටුනායක රැළියක් අමතමින් මට පදනම් විරහිත චෝදනා හයක් නැගුවා. ඒ නිසා මගේ හෙලිදරව්ව කිරීමට ප්‍රථම රාජ්‍ය නායකයා විසින් මට නගන ලද චෝදනාවන්ට පිලිතුරු දීම මගේ යුතුකමක්. මම වසර පහක් කොමා තත්වයේ ඉඳලා එක පාරට නැගිටලාලු. කොමා කියන්නේ සිංහල භාෂාවේ විරාම ලකුණක්නෙ. මම හිතන්නේ එතුමා කොමා කියන්න ඇත්තේ කෝමා කියන අදහසින්. මම නම් කෝමා එකක හිටියේ නෑ. හැමදාමත් පියවි සිහියෙන් හිටියේ. ඒ නිසා තමයි අද ඔබතුමාගේ ආණ්ඩුව වැරදි කරන විට හඬ නගන අයුරින්ම මා පත් කරපු මගේ ආණ්ඩුව වැරදි කරන කොටත් හඬ නගලා මාස 18න් ඇමති ධූරයත් නැති කර ගත්තේ. හැබැයි ඔබතුමා නම් දැන් කෝමා තත්වයෙන් ඉන්නවා වගේ අපට පේන්නේ. ඡන්ද කාලයේ දී ඔබතුමාගේ වේදිකාවේ උගන්ඩා සල්ලි ගැන, වැටුප් වැඩි කිරීම් ගැන අයිඑම්එෆ් ගැන පෙට්‍රල් රුපියල් 150ට ලබා දීම ගැන කියූ දේවල් දැන් මතක නෑනෙ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, කෝමාවෙන් අවදි වන මැනවි.

මම කරන්නේ මගේ කුලය රැක ගැනීමේ උත්සාහයක්ලු. අතිගරු ජනාධිපතිතුමනි, මගේ තාත්තා සැබෑ බෞද්ධයෙක්. ඒ නිසා මගේ කුලය මොකක්ද කියාවත් මට කියලා දුන්නේ නෑ. ගම්මන්පිලවරුන්ගේ ඉතිහාසය ගැන කියමින් මම කවදාවත් වංශය කබල් ගෑවේ නෑ. ඒ නිසා මට රැක ගන්න කුලයක් නෑ. නමුත් රතු පාට කමිස ඇන්ඳ අනුර සහෝදරයා අනුර ජනාධිපතිතුමා වුණු ගමන් කුල භේද ගැන කතා කිරීම ගැන මම කනගාටු වෙනවා.

ඒ වගේම මම කුරුණෑගල මහ රෝහලට ගිහින් ගර්භාෂ යුද්ධයක් ගැන කතා කරාලු. මම කිසිම දිනක කුරුණෑගල මහ රෝහලට ගියෙත් නෑ. ගර්භාෂ යුද්ධය කියන වචන දෙක මගේ මුවෙන් පිට කරලාත් නෑ. පුළුවන් නම් කුරුණෑගල මහ රෝහලට ගොස් ගර්භාෂ යුද්ධයක් ගැන කතා කළ බව ඔප්පු කරන මෙන් ජනාධිපතිතුමාට මම අභියෝග කරනවා.

ජනාධිපතිතුමනි, මේ කමිටු දෙක කිසිසේත්ම විමර්ශන කමිටු නොවේ. නිකන්ම නිකන් කමිටු කියලා ඔබ තුමා ඊයේ කිව්වා. මේ වාර්තා දෙකේම මුල් පිටුවේ ඉංග්‍රිසියෙන් තිබෙන්නේ Committee of Inquiry කියලා. ඒකට සිංහලෙන් කියන්නේ විමර්ශන කමිටු මිස නිකන්ම නිකන් කමිටු නොවේ. ඒ නිසා ඔබතුමාගේ භාෂා පරිවර්තකයා වහාම සේවයෙන් ඉවත් කරන්න.

දැනටමත් මේ වාර්තා නීතිපතිට අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවලා තිබෙන්නේ. තවත් මොනවාද ප්‍රසිද්ධ කරන්න තිබෙන්නේ කියලා ඔබතුමා මගෙන් ගැහුව්වා. ජනාධිපතිතුමනි, ප්‍රසිද්ධ කරනවා කියන්නේ නිලධාරින්ට යවනවා කියන එක නොවේ. මහජනතාවට දැන ගන්න සලස්වනවා කියන එකයි. විපක්ෂයේ හිටපු මන්ත්‍රිවරයෙකු වුණු අනුර දිසානායක මැතිතුමාගේ වචන වලින් කියනවා නම් මහජන මුදලින් සැකසූ වාර්තාවක අන්තර්ගතය දැන ගන්න මහජනතාවට ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. මම පෙනී සිටින්නේ එදා අනුර දිසානායක මන්ත්‍රිතුමා පෙනී සිටි අන්න ඒ ශුද්ධ වූ අයිතිය වෙනුවෙන්.

සය වෙනුව ජනාධිපතිතුමා කියනවා මම කොන්ත්‍රාත්කරුවෙක්ලු. ඔව් මම කොන්ත්‍රාත්කරුවෙක්. එක පැත්තකින් මම ජනතාවගේ කොන්ත්‍රාත්කරුවෙක්. මම පෙනී සිටින්නේ ජනතාවගේ ඇත්ත දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් නිසා. අනිත් පැත්තෙන් මම විපක්ෂයේ සිටිය මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ කොන්ත්‍රාත්කරුවෙක්. මොකද මම පෙනී සිටින්නේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ලෙස ඔබතුමා පෙනී සිටි කාරණා වෙනුවෙන්ම නිසා. එහෙම නැතිව මට නම් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හෝ ඉන්දියානු තානාපති කාර්යාලයේ හෝ චීන තානාපති කාර්යාලයේ කොන්ත්‍රාත්කරුවෙක් කියලා කවදාවත් චෝදනාවක් එල්ල වී නෑ. වීදුරු ගෙවල් වල සිට ගල් ගහන කොට ඒවාත් කල්පනා කර බලන්න ඕනි.

ජනාධිපතිතුමනි, දැන් බලන්න ඔබතුමා විනාඩි පහකට බොරු හයක් විදලා. දැන් ඔබතුමා 3%ක පක්ෂයක නායකයෙකු නොවේ. මිලියන 22ක රාජ්‍ය නායකයෙක්. ඔබතුමා කියන කරන දේ ඔබතුමාට ඡන්දය නොදුන් අපට පවා බලපානවා. ඒ නිසා වැටුප් කීය වුණත් කමක් නෑ හොඳ උපදේශකයෙකු පත් කර ගන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා.

දැන් අපි හෙලිදරව්වට එමු. 2019 දී සිරිසේන ජනාධිපතිතුමා විසින් පත් කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 2021 ජනවාරි මාසයේ දී ගෝඨාභය ජනාධිපතිතුමාට භාර දුන්නා. සමහරු මම අද ප්‍රසිද්ධ කරන්න යන්නේ 2021 දී භාර දුන් ජනක් ද සිල්වා වාර්තාව කියලා වැරදි මතයක ඉන්නවා. ඒ වාර්තාව 2021 දී ම ප්‍රසිද්ධ කළා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසා ප්‍රසිද්ධ කරන්න එපා කියලා කොමිසම නිර්දේශ කළ කොටස පවා රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට භාර දුන්නා. ඒ වගේම සියළුම මන්ත්‍රිවරුන්ට පරිශීලනය කරන්න පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබ්බා. ඒ වාර්තාව ගැන නොවේ අපි මේ කතා කරන්නේ. අපි අද කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන්න පත් කරපු මෙතෙක් ප්‍රසිද්ධ නොකරපු කමිටු වාර්තා දෙක ගැනයි.

මේ තිබෙන්නේ පළමු වාර්තාව. Report of the Committee of Inquiry into Allegations made in the Channel 4 Television Programme titled “Sri Lanka’s Easter Bombings – Dispatches” aired on 5th September 2023”. විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ කමිටුව විසින් මේ වාර්තාව 2024 ජූනි 25දා එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්නා. මේ වාර්තාවේ විෂය පථය වෙන්නේ චැනල් ෆෝ නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නගන ලද චෝදනා 25ක ඇත්ත නැත්ත සොයා බැලීම.

මේ තිබෙන්නේ දෙවන වාර්තාව. Report of the Committee of Inquiry into Intelligence Coordination and Investigative Process related to the Easter Bombings of 21st April 2019. පාස්කු ප්‍රහාරය පිළිබඳ පොලීසියෙන් හෝ බුද්ධි අංශ වලින් යම් අතපසු වීමක් සිදුවුණා ද කියන එක සොයා බැලීම තමයි මෙම කමිටුවේ විෂය පථය වෙලා තිබුණේ . විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14 දා ඒ කියන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමා පත් වෙන්න සතියකට කලින්. එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්නා.

මේ වාර්තා සඟවා තබන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ දැරුවේ ඇයි? අන්න ඒකට උත්තරේ මේ වාර්තාවේ තිබෙනවා. අල්විස් වාර්තාවේ 40 වන පිටුවේ මෙහෙම තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 9 දා මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික තව්හිත් ජමාත් ත්‍රස්තවාදින් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බවට විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ලිපියකින් දැනුම් දෙනවා. මේ ලිපියේ ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තවාදින්ගේ නම්, ලිපින, දුරකතන අංක, ජාතික හැඳුනුම්පත් අංක, ඇසුරු කරන පුද්ගලයින් සහ ගැවසෙන ස්ථාන ආදි සියළු තොරතුරු ලබා දෙනවා. සමහරුන්ගේ රැය ගත කරන්න යන ස්ථාන විතරක් නොවේ යන වෙලාව සහ පිටවන වෙලාවත් දක්වා තිබෙනවා. මේ ලිපිය ලබන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමයි දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා. රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව මේ වාර්තාවේ තිබෙන චෝදනා වලට එතුමා දෙන පිලිතුරු මොනවාද කියලා බලන්න එතුමා පැවරූ මූලික අයිතිවාසිකම් නඩු අංක 241/2024 නඩු ගොනුවත් මම අධ්‍යනය කළ බව විශේෂයෙන් කියන්න ඕනි.

අප්‍රේල් 9 මේ ලිපිය එනවිට රවි සෙනෙවිරත්න මහතා විදේශගත වෙලා. නැවත ලංකාවට ඇවිත් මේ ලිපිය දකින්නේ 16දා කියලා රවි සෙනෙවිරත්න මහතා කියනවා. රජයේ නිලධාරින් විදේශගත වෙන විට තමන් වෙනුවෙන් වැඩ ආවරණය කරන්න කෙනෙකු පත් කරන්න ඕනි. ඒ අනුව සීඅයිඩී භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාට වැඩ ආවරණය කිරීම පවරලා තමයි සෙනෙවිරත්න මහතා රට ගියේ. එහෙම නම් සතියක් මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට නොගොස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ මේසය උඩ තිබුණේ කොහොමද? මේ ප්‍රශ්නයම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්ය මණ්ඩලයෙන් විමර්ශන නිලධාරින් ප්‍රශ්න කරනවා. ඒ අය කියන්නේ රහස්‍යයි කියලා ගහලා තිබෙන ලිපි විවෘත නොකර මා එනතුරු තබා ගන්න කියලා රවි සෙනෙවිරත්න මහතා උපදෙස් දීලා තිබෙනවා කියලා. වැඩ ආවරණය කරන්න නම් ඒ තනතුරට එන ලිපි සියල්ලම වැඩ ආවරණය කරන නිලධාරියාට ලැබෙන්න ඕනි. ඒ නිසා ඒ නියෝගය නීති විරෝධියි. රවි සෙනෙවිරත්න මහතාගේ නීති විරෝධි උපදෙස නිසා සහරාන්ලා බෝම්බ හදන කොට අවසාන වීඩියෝව පටිගත කරන කොට සහරාන්ලාගේ නම් ගම් ඇතුළු සියළුම විස්තර ඇතුලත් ප්‍රහාරය පිළිබඳ ලිපිය රවි සෙනෙවිරත්න මහතාගේ මේසය උඩ අනේ මාව බලාපියෝ කියලා විලාප නගමින් සතියක්ම තිබෙනවා.

රවි සෙනෙවිරත්න මහතා අප්‍රේල් 16දා මේ ලිපිය බලලා මැයි 1දා වෙන විට මේ පිළිබඳ විමර්ශනය කර වාර්තා කරන ලෙස සටහනක් දමනවා. නමුත් සීඅයිඩී භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාට යොමු කරන්න භාර දෙන්නේ 19දා. හැබැයි අබිරහස් ලෙස අප්‍රියල් 21 බෝම්බය පුපුරුවාගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නෑ. ඒ කියන්නේ අප්‍රියෙල් 22 වන තුරු මේ ලිපිය නාගහමුල්ල මහතාට භාර දෙන්නේ නෑ. කොහොම වුණත් ඉතාම ක්ෂණිකව පියවර ගත යුතු ලිපියක් දවස් 12ක් රවි සෙනෙවිරත්න මහතා භාරයේ තිබෙනවා. 19දා කියන්නේ සිකුරාදා. සෙනසුරාදා සීඅයිඩියට සාමාන්‍යයෙන් නිවාඩු. බෝම්බ පුපුරන්නේ 21 ඉරිදා. ඒ නිසා බෝම්බ පිපුරුවාට පස්සේ මේ ලිපිය සොයා ගෙන 16දා බැලූ බවට සටහනක් දාලා 19දා “යන ලිපි” ලේඛණයට ඇතුලත් කලා වෙන්නත් පුළුවන්.

තමන්ගේ මේසය උඩ සතියක් කල් පසු වුණු අති රහස්‍ය ලේබලය යටතේ ලැබුණු ලිපියක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාමාන්‍ය පටිපාටිය යටතේ යවනවා වෙනුවට ඔහුව තමන්ගේ කාර්යාලයට ගෙන්වා භාර දී වහාම ක්‍රියාත්මක වෙන්න උපදෙස් දෙන්න තිබ්බා. සතියක් ප්‍රමාද වුණා මදිවාට නියෝජ්‍ය පොලිස්පතිට ඒ ගැන සොයා බලන්න මැයි 1දා දක්වා කල් දෙනවා. ඒ වගේම 16දා සිට බෝම්බ පිපුරුණු 21දා දක්වා මේ විමර්ශනයේ ප්‍රගතිය විමසා බලන්නේ වත් නෑ. මොකක්ද මේකෙන් පේන්නේ? මේ ලිපිය කියවන්නේ වත් නැතිව සටහනක් දාලා යැව්ව බවයි.

මේ ලිපිය ඇත්තටම කියෙව්වා නම් රවි සෙනෙවිරත්න මහතාට සහරාන් කියන්නේ කවුද කියන එක සිහියට එනවා. මොකද එතුමා යටතේ තිබෙන ත්‍රස්ත විමර්ශන අංශයෙන් 2014 සිට සහරාන් ගැන සෙවිල්ලෙන් ඉන්නේ. සහරාන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා 13ක් 2019 මුල් මාස තුන තුල පමණක් රවි සෙනෙවිරත්න මහතාට ලැබෙනවා. මේ වාර්තාව කියන විධියට 2017 කාත්තන්කුඩි අලියාර් හන්දියේ ආගමික ගැටුම, 2018 වවුනතිව් පොලිස් නිලධාරින් මරා දැමීම, 2018 මාවනැල්ල බුදු පිලිම විනාශ කිරීම, 2019 වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ 2019 කාත්තන්කුඩි පාල්මුනෙයි පිපිරීම යන සහරාන් කල්ලියේ ක්‍රියාකාරකම් ගැන පරීක්ෂණ කරන්නේ සී අයි ඩි ය. අධීක්ෂණය කලේ රවි සෙනෙවිරත්න මහතා.

පුපුරණ ද්‍රව්‍ය එකතු කරපු බෝම්බ අත්හදා බලපු සහරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වන බවට විදේශීය රටකින් තොරතුරක් ලැබුණාම වහාම ක්‍රියාත්මක වෙලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ වගකීමක් සහරාන් ගැන හොඳින්ම දන්නා එකම පුද්ගලයා වන රවි සෙනෙවිරත්න මහතාට තිබුණා. සහරාන් පිළිබඳ හොඳින්ම දන්නා එකම පුද්ගලයා විධියට මම රවි සෙනෙවිරත්න මහතාව හඳුන්වන්නේ ඇයි? සහරාන් පිළිබඳ 2014 සිට තොරතුරු රැස් කළ ත්‍රස්ත විමර්ශන අංශය වගේම ඉහත දක්වපු සහරාන්ගේ ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම පෙන්වන අපරාධ සියල්ලම විමර්ශනය කළ සීඅයිඩියත් තිබෙන්නේ රවි සෙනෙවිරත්න මහතා යටතේ. ඒ වගේම සහරාන් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවාව සැකසූ වාර්තා සියල්ලමත් රවි සෙනෙවිරත්න මහතාට ලැබෙනවා.

මේ ලිපියෙන් කියන්නේ සහරාන් ඇතුළු නම් සඳහන් කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානම් වෙන බව. ඇත්තටම මේ ලිපිය රවි සෙනෙවිරත්න මහතා කියෙව්වා නම් සාමාන්‍ය සටහනක් යොදනවා වෙනුවට මේ කණ්ඩායම යන එන තැන් වල සෝදිසි රැකවල් දාන්න උපදෙස් දුන්නා නම් මේ කණ්ඩායමම අත්අඩංගුවට ගන්න තිබ්බා. අඩුම ගණනේ 18දා සිට සෝදිසි රැකවල් දැම්මා නම් එදා සහරාන්ව අත්අඩංගුවට ගන්න තිබුණා. ප්‍රහාරයට කොළඹ එන්න කලින් 18දා තම බිරිඳ සහ දරුවන් නැවැත්වීමට බිරිඳගේ කුරුණෑගල පිහිටි මහ ගෙදරට සහරාන් යනවා. සහරාන්ගේ බිරිඳගේ මහ ගෙදර ගැනත් තොරතුරු ඒ වන විට පොලිසියට ලැබී තිබුණා. එදා ඒ නිවස අවට සෝදිසි රැකවල් යොදා තිබුණා නම් සහරාන්ව අත්අඩංගුවට ගන්න තිබ්බා. එහෙම නම් මේ මහ විනාශය වලක්වා ගන්න තිබ්බා.

මේ බෝම්බ නිසා 269 දෙනෙකු මිය ගිහින් අපේ රටේ දහස් ගණනකට දයාබර අම්මා, පවුල රකින තාත්තා, ආදරණීය දරුවන් ඥාතින් මිතුරන් නැති වුණා. සමහරු මුළු පවුලම මිය ගිහින් මේ ලෝකයේ සදහටම තනි වුණා. අත්පා ඇස් කන් අහිමි වෙලා පන්සීයකට අධික පිරිසක් තුවාල වුණා. රවි සෙනෙවිරත්න මහතාගේ නොසැලකිල්ල සිදු නොවුණා නම් කිසිම පියවරක් ගන්නේ නැතිව මේ අනතුරු ඇඟවීම අඩංගු ලිපිය දවස් 12ක් සීඅයිඩියේ රස්තියාදු නොවුණා නම් මේ මහ විනාශය වලක්වා ගන්න තිබුණා. ඒ නිසා මේ වාර්තාවේ 41 වන පිටුවේ මේ සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් රවි සෙනෙවිරත්න මහතාට නඩු පවරා දඬුවම් කළ යුතු යැයි කමිටුව නිර්දේශ කරලා තිබෙනවා.

එහෙම නම් මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෙකු වෙන්න ඕනි බවට කමිටුව තීරණය කරලා තිබෙන රවි සෙනෙවිරත්න මහතා තමයි පොලිසිය භාර අමාත්‍යාංශයේ ලොකුම පුටුවේ වාඩි වෙලා ඉන්නේ. මෙයාගේ අධීක්ෂණය යටතේ තමයි ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳ අළුතින් විමර්ශනයක් කරන්න යන්නේ. ඉතින් පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉටු වේවිද? මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන්ම පේන අහනවා වාගේ වැඩක්.

මේ වාර්තාව අපේ අතට ලැබෙන්න කලින් ජනාධිපතිතුමා රවි සෙනෙවිරත්න මහතාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කලාම අපි ඒකේ වැරැද්ද පෙන්වා දුන්නා. එක පැත්තකින් තමන්ට එරෙහිව පොලිස් විමර්ශනයකින් තමන්ව අත්අඩංගුවට ගන්න ඉන්නා බවට පොලිසියට විරුද්ධව නඩු පවරපු පුද්ගලයෙක් ඒ නඩුව විභාග වන අතරේ පොලිසිය භාර ලේකම්වරයා විධියට පත් කලේ කොහොමද කියලා අපි ප්‍රශ්න කලා. ඒ වගේම බීමතින් වාහන එලවලා අනතුරක් සිදු කරලා පොලිස් අත්අඩංගුවට පත් වෙලා රක්ෂිත බන්ධනාගාර ගත වුණු අයෙක් පොලිසිය භාර ලේකම් කලාම පොලිසියෙන් සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම සිදු වෙන්නේ නැති බව පෙන්වා දුන්නා. නමුත් අපි ඒ ඉදිරිපත් කළ සාධාරණ විවේචනය ජනාධිපතිතුමාට ඇහුනේ නෑ.

ඒ වගේම අල්විස් වාර්තාවේ 14 වන පිටුවේ සීඅයිඩීය සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතාට අමතරව සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටත් අපරාධ නඩු පවරන්න කියා නිර්දේශ කර තිබෙනවා. රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරින් ද ඇතුළුව නිලධාරින් 17 දෙනෙකුට අපරාධ නඩු පැවරීම හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.

ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් මේ වාර්තාව යට ගහන්න මෙතරම් උත්සාහ කලේ ඇයි? ප්‍රධානතම හේතුව තමයි ජනාධිපතිතුමාගේ නොහැකියාව ප්‍රදර්ශනය වීම. ජනාධිපතිවරයෙකු සතු විය යුතු ලොකුම හැකියාව තමයි ඒ ඒ තනතුරට සුදුසුම පුද්ගලයින් හඳුනා ගැනීමේ හැකියාව. නමුත් ජනාධිපතිතුමා සිය පළමු රාජකාරි දිනයේ කළ පත්වීම් තුනෙන් දෙකක්ම වැරදියි බව දැන් ඔප්පු වෙලා තිබෙන්නේ. ජනාධිපති ලේකම් තනතුරේ වැරැද්ද අපි මීට කලින් පෙන්වා දුන්නා. දැන් ඔන්න මහජන ආරක්ෂක ලේකම් තනතුරට තෝරා ගෙන තිබෙන්නේ ප්‍රධානම පොලිස් විමර්ශනයක චුදිතයෙක්ව. සොත්ති උපාලිව පත්කලා වගේ වැඩක්.

දෙවන හේතුව තමයි තමන්ට මැතිවරණයේ දී සහය දුන්නු දේශපාලන සගයින්ට නඩු වැටීමෙන් ආරක්ෂා කර ගැනීම. මේ වාර්තාව ප්‍රසිද්ධ නොවුණා නම් පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරීම පිළිබඳ රවි සෙනෙවිරත්න ඇතුළු පිරිසට කිසිම නඩුවක් පැවරෙන්නේ නෑ.

ආණ්ඩුවට තවම මාසයක්වත් නෑ. සිය පළමු මාසය තුල මෙවැනි බරපතල වරදක් කර ගත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම නෑ. සිරිසේන ආණ්ඩුව බැඳුම්කර වංචාව කලේ දෙවන මාසයේ දී. මේ වාර්තා ජනගත කිරීම ජනාධිපතිතුමාගේ වගකීමක්. මේ වාර්තා භාර දුන්නේ ජනාධිපතිට නිසා ඒ යුතුකම ඉටු කරන්න වෙන කාටවත් බෑ. නමුත් තමන්ගේ දේශපාලන වේදිකාවේ සිටි දේශපාලන සගයා බේරා ගන්න ජනාධිපතිතුමා මේ වාර්තාව යටපත් කිරීමට උත්සාහ කිරීම එක පැත්තකින් බලය අයුතු ලෙස භාවිතා කිරීමක්. ඒ කියන්නේ විෂමාචාරයක්. අනිත් පැත්තෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ සිතීමේ නිදහස කියන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. විෂමාචාර වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම යන දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා ධූරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ආ හැකි කාරණා.

පාස්කු ප්‍රහාරයේ චුදිතයෙකු බව දනිමින් රවි සෙනෙවිරත්න මහතා පාස්කු විමර්ශනය සිදු කරන ප්‍රධානියා බවට පත් කිරීමෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණේ මොකක්ද? මේ පිළිබඳ විමර්ශන කළ ශානි අබේසේකර මහතා පවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පිලිගන්නා මාලිමා ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම් බේරා ගෙන සමස්ත ජාතිය නොමග යවන විමර්ශනයක් කිරීමට ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

මම මේ අවස්ථාවේ ප්‍රකාශ කලේ මේ වාර්තාව යටපත් කරන්න ආණ්ඩුව පෙළැඹීමට හේතු විතරයි. මේ වාර්තාවේ රජයේ නිලධාරින් 17 දෙනෙකුට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා මත නඩු පැවරීමට හෝ විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබෙනවා. ඒ සෑම නිලධාරියෙකුටම නිදහසට කාරණා ඇති. තමන්ට එරෙහිව නඩු පැවරුවාම ඒ චෝදනා වලට නිදහසට කරුණු ඉදිරිපත් කරලා නිදහස් වීමට ඒ හැමෝටම අයිතිය තිබෙනවා.

තමන්ට මැතිවරණයේ දී සහය දුන් තම දේශපාලන සගයන් බේරා ගැනීමට මේ වාර්තා යටපත් කිරීමට ජනාධිපතිතුමා උත්සාහ කළත් ඇත්තෙන්ම ජනාධිපති කළ යුතුව තිබුණේ මොකක්ද? ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරිලා තිබෙන යුතුකම ඉටු කරමින් මේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම. වාර්තාවක් තමන්ට වාසියි කියලා දැක්කාම ප්‍රසිද්ධ කරන්නත් තමන්ට අවාසියි කියලා දැක්කාම යටපත් කිරීමටත් ජනාධිපතිට බලයක් නෑ. මේ වාර්තාවල අඩංගු නිගමන වලට එළැඹි ආකාරයේ යම් දෝෂයක් තිබෙනවා නම් ඒ නිගමන අහෝසි කරන්න කියලා අභියාචනාධිකරණයේ නඩු පවරන්න පුළුවන්. මේ කමිටු සාමාජිකයින්ගේ හැකියාව හෝ අපක්ෂපාතිත්වය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් කමිටුව පත් කරපු අවස්ථාවේ ඒක අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න අවස්ථාව තිබුණා. වාර්තාව තමන්ට අවාසියි කියලා අවබෝධ වුණාට පස්සේ සාමාජිකයින් විවේචනය කරන්න බෑ.

මේ පසුබිම යටතේ ජනාධිපතිතුමා විසින් අපරාධයකට නඩු පැවරිය යුතු බවට කමිටුවක් නිර්දේශ කර තිබෙන ඊට අදාළ සාක්ෂි තිබෙන පොලිස් විමර්ශනයක සැකකරුවෙකු වන රවි සෙනෙවිරත්න මහතා වහාම සිය ධූරයෙන් ඉවත් කළ යුතුයි. රවි සෙනෙවිරත්න මහතා තනතුරේ සිටින තුරු පොලිසියෙන් කාටවත් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ.

බලයට පත් වී පළමු මාසය තුලම බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාත්මකව උල්ලංඝණය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා වහාම ජාතියෙන් සමාව ගත යුතුයි. මේ කාරණා දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය යටතේ දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතු වන කාරණා. ඒ නිසා ජනාධිපතිතුමා විසින් රවි සෙනෙවිරත්න තනතුරෙන් ඉවත් කිරීම සහ ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගැනීම කියන මේ පියවර දෙක වහාම නොගත්තොත් ඉදිරි පාර්ලිමේන්තුවේ දී ඔබතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට අපි පියවර ගන්නවා.

මේ වාර්තාවල තිබෙන ඇමුණුම් ජාතික ආරක්ෂාවට සංවේදි නිසා ඒවා ප්‍රසිද්ධ කරන්න එපා කියලා කමිටු විසින් ජනාධිපතිතුමාට නිර්දේශ කරලා තිබෙනවා. ඒ නිසා ඒ ඇමුණුම් අපි ජනගත කරන්නේ නෑ. මේ වාර්තා දෙක අතුරෙන් Report of the Committee of Inquiry into Intelligence Coordination and Investigative Process related to the Easter Bombings of 21st April 2019 යන වාර්තාව මේ මොහොතේ සිට www.udayagammanpila.com වෙබ් අඩවියෙන් හෝ UdayaGammanpila ෆේස්බුක් පිටුවෙන් ඕනෑම කෙනෙකුට බා ගත කරන්න පුළුවන්.

මේ වාර්තාවේ හෙලි වන කරුණු සමාජ සංවාදයට ලක් වෙන්න කාලයක් අවශ්‍යයි. ඒ නිසා දෙවන වාර්තාව අපි 28 වන සඳුදා උදෑසන 10ට හෙලි කරනවා. ඒ වාර්තාව හරහා වත්මන් ආණ්ඩුව බලයට ඒමට කියූ බොරු ඉතාම පැහැදිලි තාක්ෂණික සාක්ෂි යොදාගෙන බොරු බවට ඔප්පු කරලා තිබෙනවා”

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *