Latestදේශීය

හලාවත ඝාතනයේ කරුණු රැසක් හෙළිවෙයි

හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවස සහ මියගිය පුද්ගලයින් පිළිබඳ මූලික පොලිස් විමර්ශනවලදී සිදු වූ අනාවරණ අනූව එම නිවසේ සිටි පියා, සිය දියණිය සහ බිරිඳ ඝාතනය කර ඔහු ද ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.

නිවසේ පහත මහලේ කාමරයක් මත තිබී ගෙළ සිඳී ගිය කාන්තා මළ සිරුරක් හමු වූ අතර ආලින්දයේ තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් පොලිසිය සොයා ගෙන තිබුණි.

51 හැවිරිදි පියා 44 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණිය මෙලෙස මියගොස් ඇති බවයි, වැඩිදුර විමර්ශනවලදී අනාවරණ විය.

පොලිසිය සඳහන් කළේ, ගෙළ සිඳී මියගොස් සිටි කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරිනියක් වූ අතර පිළිස්සී මියගිය පුද්ගලයා ඉඩම් කොටස් කිරීමේ ව්‍යාපාරයක නිරතවූවෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන අංශ කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරුණි. ඒ අනුව පිළිස්සී මියගිය පුද්ගලයා සිය බිරිඳගේ ගෙළ සිඳ ඝාතනය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව උපකාරක පන්තියකට සහභාගී වී සිටි දියණිය නිවසට පැමිණි පසු ඇය ද ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වූ බව පොලිසිය ප්‍රකාශ කළේය. දැනට ලැබී ඇති සාක්ෂි මත විමර්ශන නිලධාරීන් තහවුරු කරගෙන ඇත්තේ, දියණියගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඇති එම පුද්ගලයා ද ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි.

ඔහුගේ බිරිඳට අයත් ඉඩමක් සම්බන්ධයෙන් කලක පටන් දෙදෙනා අතර ආරවුලක් පැවති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ.

කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ කළ යුතු බව පොලිසිය ප්‍රකාශ කරයි. මළ සිරුරු තුනට අදාළ පශ්චාත් මරණ පරික්ෂණය හලාවත මහ රෝහලේදී අද සිදු කෙරේ

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *