Latestදේශීය

අවුරුදු 200ක ඉතිහාසය අළුතින් ලියන ඇය

(සාකච්ඡා කළේ – රශ්මි කරුණාරත්න)

ලබන නොවැම්බර් 14 වෙනි දින පැවැත්වෙන මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් නාම යෝජනා ලබා දී සිටින අම්බිකා සැමුවෙල් පිළිබඳව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමු වී තිබේ.

කඳුකර ජනතාව පාගාගෙන නැගී සිටි තොන්ඩමන් පරම්පරාව මෙන් ම, ඒ හා සමාන අනෙකුත් දේශපාලකයන්ට අභියෝග කරමින් ඇය කඳුකර ජනතාවගේ ලයින් කාමර නිවාස ජීවිතය තුළින් ම දේශපාලනයට පැමිණ සිටී. පසුගිය 20 වෙනි ඉරිදා දිවයින පුවත්පත ඇය සම්බන්ධයෙන් පළ කර තිබූ සම්පූර්ණ ලිපිය උපුටා ගෙන පහත දැක්වේ.

අපේ මිනිස්සු ආඩම්බරයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් කියන දවසක් එනවා

වතුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් සම්පූර්ණ වූයේ මේ මෑතකදීය. ඔව්හු වර්තමානයේ නාමික පුරවැසියන් වුවද ශ්‍රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත.

තමන්ගේ කියා කිව හැකි නිවසක් හෝ බිම් අඟලක් හෝ නැති බොහෝ දෙනකු තවමත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. ඒ අතරින් සුවිශේෂීම කාරණය නම් අන් තැනකට යන්නට ද නොහැකිව, තමන්ගේ කියා කිව හැකි නිවසක්ද නැතිව එනිසාම ස්ථිර ලිපිනයක් ද නැතිව වසර 200ක් පුරාවටම ඔව්හු ඒ දුක් දෝමනස්සයන් ඉවසා සිටීමය. ඒ උඩරට වතුකරයේ ජීවත්වන මෙරට බි්‍රතාන්‍යවාසී පාලන සමයේ ඉන්දියාවෙන් ගෙන්වා ගත් ඔවුන්ට කලින් කලට විවිධ දේශපාලන නායකයන් දුන් පොරොන්දු අපමණය. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් දියවන්නාවට පැමිණියද තවමත් වතු ද්‍රවිඩ ජනතාවට පාන්පිටි රොටියත් ප්ලේන්ටියනුත් තොර ජීවිතයක් ගැන සිතීමට පවා වරම් අහිමි වී ගොසිනි.

තේ දල්ලකට තම ජීවිතයම දියකර හැරි මිනිසුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් රැගෙන ඔවුන් අතරින්ම බිහි වූ ජනතා නියෝජිතයෙක් ලෙස අම්බිකා සැමුවේල් මෙවර මහ මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ආසන අපේක්ෂිකාව ලෙස ජාතික ජන බලවේගයෙන් තරග වදින්නීය. පොළොවෙන් මතුව උස තැන්වලට අභියෝග කරන අම්බිකා සැමුවෙල් සමග කළ කතා බහ මෙසේය.

මම අම්බිකා සැමුවේල්. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ වත්ත තමයි මගෙ ගම. මම ඉපදුනේ හපුතලේ වත්තෙ. මගෙ පවුලෙ ඉන්නෙ අම්මා තාත්තා සහ මගෙ අක්කා. මගෙ අම්මා ආරයි. මගෙ තාත්තා සාමිවේල්. මගෙ අක්කා විවාහකයි. දෙමව්පියන් දෙන්නා බලාගන්න ගමන් ඒ දෙන්නත් එක්ක ජීවත් වෙනවා. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ හපුතලේ දමිළ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ මගෙ උසස් අධ්‍යාපන ලැබුවේ හපුතලේ මධ්‍ය මහ විද්‍යාලයෙන්. උසස් පෙළ කරාට පස්සෙ මම ස්වෙච්ඡා සමාජ සේවා කරන්න පටන් ගත්තා. ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම මම මගෙ වත්තෙ සහෝදර සහෝදරියන්ට පන්ති කරා. ඒ වගේම මම ලෝගොස් ජාත්‍යන්තර පාසලේ දේවධර්මය පිළිබඳ උපාධියක් හැදෑරුවා. පසුව මම විවිධ රැකියාවන් කරන ගමන් පන්ති කරා. මගේ වෘත්තියත් අතෑරලා අවුරුදු දෙකක වැඩි කාලයක් කොවිඩ් කාලෙ මම දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරා. දැනට මම දේශපාලන වැඩකටයුතු කරන ගමන් පෞද්ගලික සමාගමක කළමනාකරුවෙක් විදියට වැඩ කරනවා.

ඔව් ඇත්තටම ඒක අභියෝගයක්. අවුරුදු 76ක් තිස්සෙ බලාපොරොත්තු කඩ කරලා ජනතාව වෙනුවෙන් යමක් කරන්නෙ නැති, වගකීම් වැඩිම කාලයක තමයි මම මේ අභියෝගය භාර ගන්නෙ. මේගොල්ලො කරපු දේවල් මිනිස්සුන්ට කරන්න මට බෑ. මං වගකීමක් ඉෂ්ට කරනවා කියලා පොරොන්දු මත තමයි යන්නෙ. ඒ නිසා මට ජීවිත එක්ක සෙල්ලම් කරන්න බෑ. කඳුකර දමිළ ජනතාවට අනිවාර්යයෙන්ම මගෙ අතින් ඒ යුතුකම ඉෂ්ට කරනවා. මේ මගේම අය මං ඉන්න තැන. මං විදින පීඩනය තුළම ඉන්න අයට සේවය කරන්න යන්නෙ. ඒ මිනිස්සුන්ට කළ යුතු දේ අනිවාර්යයෙන්ම මම කරන්න ඕනෙ.

මගෙ දේශපාලන ගමන ගැන කිවුවොත් මං උසස් පෙළ කරන කාලෙ ඉඳලා දේශපාලනය ගැන මට ආසාවක් තිබ්බා. මාක්ස්වාදය වගේ දේශපාලන න්‍යායන් ඉගෙන ගන්නකොට පුදුම ආසාවක් ආව දේශපාලනයට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම ඒ න්‍යායන්වල තියෙන දේවල් එක්ක අපේ රටේ දේශපාලන සංස්කෘතිය සංසන්දනය කරනකොට මට තේරුණා අපේ රටේ දේශපාලනය හාත්පසින්ම වෙනස් කියලා. මම සමාජ සේවා කරන්න පටන් ගත්තෙ පාසලේ ඉගෙන ගන්න කාලෙ ඉඳන්මයි. මගෙ වත්තෙ සහෝදර සහෝදරියන්ට සිංහල, ඉංග්‍රීසි, ගණිතය වගේ විෂයන් මම ඉගැන්නුවා. මගෙන් දෙයක් සමාජයට වෙන්න ඕනෙ, මගෙ ජාතියේ අයට වෙන්න ඕනෙ කියන මතවාදයේ මම හිටියෙ. ජාතීන් අතර ඇතිවෙන සන්නිවේදනය ප්‍රශ්න නිසාම තමයි වෙන් වීම වෙලා තියෙන්නෙ. එතැනින් තමයි සියලු වෙනස්වීම් පටන් ගන්නෙ. මම සිංහල, ඉංග්‍රීසි භාෂා ඉගැන්නුවෙ ඒ භාෂා ගෑවිලාවත් නැති දමිළ වතුවලට ගිහින්. දැන් ඒ ළමයි ගොඩක් හොඳ මට්ටමින් සිංහල, ඉංග්‍රීසි භාෂා හසුරුවන්න ඉගනගෙන තියෙනවා. භාෂා වෙනස්කම් මත වෙනස්කොට සලකන එක මම තරයේ හෙළා දකින දෙයක්. අපේ රටේ සියල්ලන්ටම භාෂා තුනම ඉගැන්විය යුතුයි කියලා මම කියනවා. එතකොට තමයි සිංහල, දෙමළ, මුස්ලිම් කියලා මේ බෙදිලා ඉන්න ජාතීන් ටික එකමුතු වෙලා එක ජාතියක් විදියට එක එක්කෙනාගෙ අදහස් හුවමාරු කරන් සහයෝගයෙන් ජීවත් වෙන ජාතීන් ඉන්න රටක් ගොඩනගන්න පුළුවන් වෙන්නෙ. මම සමාජ සේවා කරනකොට මාත් එක්ක සමාජ සේවා කරන සහෝදරයෙක් කිවුවා මට ස්වාධීන අපේක්ෂකයෙක් විදියට ඡන්දය ඉල්ලන්න කියලා. ඒ කාලෙ මට ඒ සහෝදරයා හරහා ජාතික ජන බලවේගයෙන් කෝල් කරා. සමාජයට යමක් ඉටු කරන්න ඕනෙ කියන සිතුවිල්ල හිතට ආ දවස්වල ඉඳන් මං ජාතික ජනබලවේගය පිළිබඳව කැමැත්තක් දැක්කුවා. පියවරෙන් පියවර පක්ෂයෙ දේවල්වලට සහභාගි වෙලා කොට්ඨාසය සභාවෙ ඉඳලා පසුව දිස්ත්‍රික් විධායක සභාව වෙනකන් ඇවිත් දිස්ත්‍රික් විධායක සභිකයෙක් විදියට මගෙ දේශපාලන ගමන පටන් අරන් මගෙ වතුකරයේ ජනතාව අනෙකුත් ජාතීන් හා සමාන අයිතිවාසිකම් භුක්ති විඳින දවස වෙනකන් මගෙ දේශපාලන ගමන මම කොතරම් අභියෝග ආවත් ඒවා මැඬගෙන ඉදිරියට රැගෙන යනවා.

මම දකින විදියට 3%ක වගේ ප්‍රතිශතයක හිටිය ජාතික ජන බලවේගය මේ දක්වා වර්ධනය වෙන්න ප්‍රධානම හේතුව වුණේ හොඳ මානව හිතවාදී ඉදිරි දැක්මක් තියෙන නායක මණ්ඩලයක් අපිට ඉන්න එක. අපේ පක්ෂය හොඳින් ජාලගත වෙලා ඉන්නෙ. වසම්, කොට්ඨාස, ආසන, දිස්ත්‍රික් වගේ බිම් මට්ටමේ ඉඳන් පාලනය ගලා යන හොඳින් සංවිධානය වුණ ජාලකරණයක් අපිට තියෙනවා. ඒ නිසා අපි පිළිවෙළට බිම් මට්ටමේ ඉඳන් මිනිස්සු එක්ක සාකච්ඡා කරලා මිනිස්සුන්ගෙ අදහස් අරන් අපි පොළොවෙ ඉඳන් වැඩ කරා. අනිත් පක්ෂ එක්ක බලනකොට වගේ සුවපහසු කාමරවල ඉඳන් මෙහෙයවීමක් නෙවේ අපි කරේ. මනාප අරගත්ත ගමන් මිනිසුන්ගෙන් ඈත් වෙලා අවුරුදු පහකට පස්සෙනෙ ආයෙ එයාලා එන්නෙ. පාලකයොයි ජනතාවයි අතර කිසිම සම්බන්ධයක් මෙච්චර කල් අපේ රට පාලනය කරපු දේශපාලන පක්ෂවල තිබ්බෙ නෑ. අපි පාලනයේ හිටියා හෝ නැතා බිම් මට්ටමේ මිනිස්සු එක්කම වැඩ කරා. ජනතාවගේ ව්‍යාපාරයක් විදියට හිටියා. ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් පාලනය ගලාගෙන යන යාන්ත්‍රණයක් අපි ගොඩනැගුවා. අවුරුදු ගාණක් තිස්සේ අපි ඒ ගොඩනඟා ගත්ත ප්‍රයත්නයේ සහ විශේෂයෙන්ම මේ පසුගිය අවුරුදු දෙකක කාලය තුළ අපි දිනාගත්ත ජනතා විශ්වාස තුළ අපි අනිවාර්යයෙන් දැනගෙන හිටියා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා කියලා. ඒ අපේ පක්ෂ නායකයො බිම් මට්ටමේ සිට වැඩ කරන්න පටන් ගත්ත නිසා. ඡන්දෙ කාලෙට විතරක් ජනතාව හම්බෙන පාලනයක් නොවේ අපි රැගෙන යන්නෙ ජනතාව සමග ජීවත් වුණ දැනුත් ජීවත් වෙන සහ ඉදිරියටත් ජීවත් වෙන පක්ෂයක් විදියට අපි මේ ජයග්‍රහණය ලැබුවෙ.

වතු කම්කරුවන් කියලා මගෙ ජනතාව හඳුන්වනවට මම කැමති නෑ. එයාලා ද්‍රවිඩ ජනතාව. අනිත් ජනතාව වගෙ එයාලටත් නිසි තැන වගේම සමතැන හම්බෙන්න ඕනෙ. අපෙ ජාතික ජන බලවේගයේ ඉදිරි ප්‍රතිපත්ති තුළ ඒ සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අයිතීන් අරන් දෙන්න තමයි මේ ගමන පටන් ගත්තෙ. මට එකම අරමුණයි තියෙන්නෙ අපෙ මිනිස්සුන්ට මේ වෙනකන් අහිමි වුණ පුරවැසිය අයිතිය, අධ්‍යාපන අයිතිය ලබාගන්න එක. තාමත් අපිට ඉන්දියානු දෙමළ කියලා නමක් දාගෙන අපිව හූරාකනවා. අපෙ නම කියාගෙන ප්‍රභූ පැලැන්තියෙ අපිව නියෝජනය කරන නායකයො අපිව හූරාකනවා. එයාලා එයාලගෙ මලු පුරවගත්තා විතරයි වුණේ. ඒ දේවල් දැන්වත් වෙනස් වෙන්න ඕනෙ. මිනිස්සුන්ට සේවය කරන මගෙ බලාපොරොත්තුව. මගේ ජනතාවට පුරවැසිකම හා ගෞරවාන්විත ජීවිතයක් අරන් දෙන්න ඕනෙ. එයාලට ඉඩමක් නෑ ගෙයක් නෑ. ඇත්තටම කිවුවොත් එයාලට ජීවිතයක් නෑ. සමහර ගෙවල්වල එකම කාමරයෙ පවුල් දෙකක් තුනක් ජීවත් වෙනවා. නරකාදියෙ ඉන්නෙ මගෙ ජනතාව. එයාලට පෞද්ගලික ජීවිතයක් නෑ. දරුවන්ට හොඳ අනාගතයක් නෑ. එයාලා හිරවෙලා ඉන්නෙ. මේ හිරවෙලා ඉඳපු කාලෙන් නිදහස් වෙන්න ඕනෙ කාලෙ ඇවිත් තියෙන්නෙ. ජාතික ජන බලවේගයේ අපි මේ වැටුප් ගැටලුව ගැන ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ඇත්තටම දෛනික රුපියල් 1700 වැටුපත් මදි. අවුරුදු තුනකට හෙළවෙන්නවත් බැරි විදියට මෙයාලා ගිවිසුම් ගහලා තියෙන්නෙ. අවුරුදු තුනක් යනකම් හැම මනුස්සයගෙම ජීවන මට්ටම එකම විදියකට තියෙන්න ඕනෙද. තාමත් රුපියල් 1000ක කුලී කම්කරුවන් හැටියට තමයි අපි ඉන්නෙ. අවුරුදු 200ක ඉඳන්ම දවසෙ වැටුපට ජීවත් වෙන ජනතාවක් අපි. අනෙක් කිසිම රටක තත්ත්වය මෙහෙම නෙවේ. ඉන්දියාවෙන් සංක්‍රමණය වුණ වතු ද්‍රවිඩ ජනතාව අද හොඳ පුරවැසි අයිතීන් භුක්ති විඳිනවා. හොඳම උදාහරණයක් විදියට පෙන්නන්න පුළුවන් ඇමරිකානු නව ජනාධිපති අපේක්ෂක සටනටත් ඉන්දියාවෙන් ඒ රටට සංක්‍රමණය වුණ ද්‍රවිඩ පුද්ගලයෙක් ඉදිරිපත් වෙන්න නියමිතයි. එච්චර ලොකු දුරක් වෙනත් රටවල්වල ඉන්න ඉන්දියානු ද්‍රවිඩ ජනතාව යනකොට අපිව පාලනය කරපු අපේ පාලකයො කියලා කියාගන්න පිරිස තාමත් අපිව තියන් ඉන්නෙ කුලීකාරයො විදියට. අඩුම රුපියල් 2000ක්වත් අපේ ජනතාවට ලබාදෙන්න ඕනෙ. ඒත් එක්කම ඒක මාසික පඩිය වෙන තත්ත්වයට වෙනස් කරන්න ඕනෙ. අනිවාර්යයෙන්ම අපේ ආණ්ඩුවක් යටතේ මේ තත්ත්වය වෙනස් කරන්න අපි කළ හැකි හැම දෙයක්ම කරනවා. මෙය සාම්ප්‍රදායික දේශපාලන පොරොන්දුවක් නොවන බව මම කියන්න කැමතියි.

ඇත්තටම මට තියෙන්නෙ මගෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කිරීමේ තදබල උවමනාවක්. සැබෑම ජනතා නියෝජිතයෙක් විදියට තමා මම දේශපාලනයට එන්නෙ. එයාලා අපෙ ජනතාව හැමදාම පාවිච්චි කරා එයාලගෙ බලය තර කර ගන්න. නමුත් මම එයාලට සේවය කරන්න එයාලගෙ ගැටලු රජයේ පාලනය වෙතට ඉදිරිපත් කරන ජනතා සේවකයෙක්. මෙතුවක් කාලයක් අපිව නියෝජනය කරලා පාර්ලිමේන්තුව ගිය දේශපාලකයො කරේ එයාලව බලාගත්ත එක. ඇත්තටම කඳුකරයෙ වත්තේ ඉපදිලා ඒ ජනතාවගේ ප්‍රශ්න එක්ක මුහුණ දීලා මට වතු ජනතාවගේ ජීවිතය ගැන ලොකු අවබෝධයක් තියෙනවා. වතු ද්‍රවිඩ ජනතාව තුළින්ම බිහිවුණ සැබෑ මහජන නියෝජිතයෙක් ලංකාවේ මෙතෙක් දේශපාලන ගමන තුළ බිහි වුණේ නෑ. මෙච්චර කල් අපි කරේ වෙන වෙන තැන්වල ඉන්න මිනිස්සුන්ව අපේ නායකයො කියලා අපි පත්කරගත්ත එක. අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙයි කියලා හිතලා ඔවුන්ව පාර්ලිමේන්තු යැවුවා. ඒකයි අපිට වැරදුණේ. ඔවුන් අපේ දුක විකිණුවා. අපේ ප්‍රශ්න නොදන්න කෙනෙක් නියෝජිතයක් විදියට පත්කර ගත්තෙ සෑම මැතිවරණයකදිම. දැන් තමයි ඒ පීඩිතයන් අතුරින්ම නැගිටලා පීඩිතයන්ට සාධාරණ ජීවිතයක් ගොඩනඟා දෙන්න පුළුවන් ජනතා නියෝජිතයෙක් විදියට මම පත් වෙලා ඉන්නෙ. මට ඕනෙ අපෙ රට තුළ මගෙ ද්‍රවිඩ ජනතාව ඉන්දියානු ද්‍රවිඩ ජනතාව යන නමෙන් ඉවත් වෙලා ආඩම්බරයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන තත්ත්වයක් නිරිමාණය කරන්න. වෙන රටකින් ඇවිත් සියලුම පුද්ගල අයිතිවාසිකම් අහිමි වුණ ජනතාවට මේක මගෙ රට කියලා හැඟීමක් ඇති වෙන සම අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට අහිමි කරපු අධ්‍යාපනය, දේශපාලනය, සෞඛ්‍ය, සමාජ පිළිගැනීම අරන් දෙන එක මගෙ අරමුණ. ජාතික ජනබලවේගයේ අපි පොහොසත් රටක් ලස්සන හෙටක් යන තේමාව යටතේ මේ ගෙනයන ජනතාව මුල් වුණ පාලනය මගෙ වතුකර ජනතාව විශ්වාස කරන බව මට සහතිකයි. දැන් කඳුකර ජනතාව අරක්කු බෝතලයකට, හාල් කිලෝවකට ඡන්දෙ දෙන්නෙ නෑ. ඔවුන් වෙනස් වෙලා ඉන්නෙ. ඔවුන්ට ඕනෙ ඒ සමාජ පරිවර්තනය ඇති කරන්න මං කැපවී කටයුතු කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *