Latestදේශීය

ගම්මන්පිල කරන්නේ කොන්ත්‍රාත්තුවක් – මැල්කම් කදිනල් හිමි

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු නව රජය පාස්කු ඉරිදා ප්‍රහාරය සහ තවත් ම්ලේච්ඡ දේශපාලන ඝාතන ගණනාවක විධිමත් පරීක්ෂණ ආරම්භ කර තිබියදී භීතියට පත්ව ඇති අපරාධකරුවන් ආරක්ෂා කිරීමට එම පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල මහතා සිදු කරන්නේ ද යන සැකය අප තුළ මෙන්ම බුද්ධිමත් පොදු මහජනතාව තුළ ඇතිවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හා සම්බන්ධ කරුණු දෙකක් පිළිබඳව සොයා බැලීමට, පත් කරන ලද කමිටු දෙකක වාර්තා දෙකක් පිළිබඳව මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාබහ ගැන ඊයේ (22දා) නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්වේ.

එහි මෙසේ ද සඳහන් වෙයි.

  1. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලැබී තිබූ බුද්ධි තොරතුරු පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවය (SIS) , ජාතික බුද්ධි අංශයේ (CNI) ප්‍රධානියා සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද
  2. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව ඔස්සේ විකාශය කරන ලද වාර්තා වැඩසටහන මගින් එළිදරව් වූ කරුණු පිළිබඳව සොයාබැලීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහත්මාණන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව යන කමිටු දෙකය.

මෙම කමිටු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට ලබා දුන් වාර්තා අතරින් ඒ.එන්.ජේ. ද අල්විස් කමිටු වාර්තාව හිටපු ජනාධිපති ලේකම් විසින් 2024 සැප්තැම්බර් 18 දින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් වෙත ලබාදී තිබේ. එම වාර්තාව සමග එවූ ලිපියේ සඳහන් කර ඇත්තේ, එම වාර්තා ‘රහසිගත’ (Confidential) වාර්තා බවයි. ඒ හේතුව නිසා එම වාර්තාවල අඩංගු කරුණු කිසිවක් කතෝලික සභාව විසින් මේ දක්වා එළිදරව් කිරීමෙන් වැළකී සිටි බව මෙහිලා අවධාරණය කරමු. එහෙත්, චැනල් ෆෝ නාළිකාව ඔස්සේ විකාශය වූ වාර්තාව වැඩසටහනේදී එළිදරව් වූ කරුණු පිළිබඳ සොයාබැලීමට එස්.අයි. ඉමාම් වාර්තාව මේ දක්වා අප වෙත ලැබී නැත.

හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර, එම වාර්තා නීතිපතිවරයා වෙත යවා ඇති බව හිටපු ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර මහත්මා පසුගියදා කටුනායක පැවැති මැතිවරණ රැලියක දී ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තා කළේය.

ඒ.එස්.ජේ. ද අල්විස් වාර්තාව පිළිබඳව අපගේ මතය,

  1. මෙම වාර්තාවේ අන්තර්ගත වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ලද බුද්ධි තොරතුර පිළිබඳව වගකීම් විරහිතව ක්‍රියා කළ නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳ විමර්ශනයන් සහ කමිටුවේ නිර්දේශය මේ කරුණ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් ද අදාළ පුද්ගලයන් ගණනාවකගේ සාක්ෂි කැඳවා ඒවා පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අදාළ නිලධාරීන් ගණනාවකට විරුද්ධව නිර්දේශ ඉදිරිපත් කර ඇති බව දැන් බොහෝ දෙනකු දන්නා කරුණකි.

ඒ.එස්.ජේ. ද අල්විස් කමිටුව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති නිලධාරීන් බොහෝ දෙනකු ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇති නිලධාරීන්මය. එහෙත්, අපරාධ විමර්ශන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති, රාජ්‍ය ආරක්ෂාව සහ සාමය අමාත්‍යාංශයේ වත්මන් ලේකම් රවි සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහත්වරුන් පිළිබඳ විමර්ශන සහ නිර්දේශ මේ කමිටුව විසින් තම වාර්තාවට එක්කොට තිබේ.

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ද රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් කැඳවා, ඔවුන්ගෙන් සාක්ෂි විමසා ඒ සාක්ෂි විමර්ශනය කර තිබුණ ද වගකීම් පැහැර හැරීමේ චෝදනා සහ නිර්දේශ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර නැති බවද මෙහිලා සඳහන් කළ යුතුය.

මේනයින් ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ කාරණය පිළිබඳව විමර්ශනය කොට ඉදිරිපත් කර තිබූ එකම නිර්දේශයක්වත් ක්‍රියාත්මක කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ හිටපු ජනාධිපතිවරයා විසින් ඒ සඳහාම තවත් අලුත් කමිටුවක් පත් කිරීමේ එකම පරමාර්ථය වූයේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනාගේම නම් මේ ලැයිස්තුවට ඇතුළත් කර ඔවුන්ට විරුද්ධව දේශපාලනික පළිගැනීමක් කිරීම දෝ යැයි අපට සැකයක් ඇත.

  1. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මාස 18ක් විමර්ශන සිදු කළේය. එහෙත්, ජයිකි ද අල්විස් කමිටුව සියලු විමර්ශන මාස 3කින් නිමා කර තිබේ. ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට වාර්තාව ලබාදීමට ජයිකි ද අල්විස් කමිටුවට තිබූ හදිසිය සහ උනන්දුව මෙයින් පෙනී යයි.

සාක්ෂිකරුවන් කිසිවකුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කිසිදු නීතිඥයකුට ඉඩ ලබාදී නැත. සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසිදු නීතිඥවරයකුට අවසර දී නැත.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දී කතෝලික සභාව නියෝජනය කිරීමට නීතිඥවරුනට අවස්ථාව ලබාදී තිබුණ ද ජයිකි ද අල්විස් කමිටුව ඒ අවස්ථාව අපට ලබා නොදුන්නේය. මෙම කමිටු ක්‍රියාකාරකම් පොදු ජනතාවට හෝ ජනමාධ්‍යයට විවෘත කර නොතිබිණි. එය දොරගුළු දැමූ කුටියක් තුළ සිදුවූ විමර්ශනයක් බඳු විය.

මේ සියලු කාරණා දෙස බලද්දී ජයිකි ද අල්විස් කොමිටියේ කිසිදු විනිවිද බවක් හෝ සාධාරණ බවක් කිසිදු ලෙසකින් අපි නොදකිමු. එවන් විනිවිද බවකින් සහ සාධාරණත්වයකින් තොර පරිසරයක් තුළ ලියැවී ඇති මෙම කමිටු වාර්තාව අපි පිළිනොගන්නා අතර එය තරයේ ප්‍රතික්ෂේප කරමු.

  1. ජයකි ද අල්විස් හිටපු මහාධිකරණ විනිසුරුවරියව මේ කමිටුවේ ප්‍රධානත්වයට පත් කිරීම ද එක්තරා ආකාරයකින් ගැටලු මතු කරන කාරණයකි. ජයකි ද අල්විස් විනිසුරුවරිය යනු එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද අල්විස් මහත්මාගේ සොහොයුරියයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු සංස්කාරක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ නොමඟ යවන්නට කටයුතු කළ බවට ඔහුට විරුද්ධව චෝදනා නැඟී ඇති අතර ඒ පිළිබඳව හේතු දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහත්මා විසින් පොලිස්පතිවරයාට ලිපියක් යවමින්, දෙපාර්තමේන්තු නියෝග නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න අල්විස් මහත්මාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිට ඇති අතර සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම යටතේ ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පැවරිය හැකිද යන්න පිළිබඳව සොයා බලන මෙන් සෙනෙවිරත්න මහතා නීතිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කර තිබේ. ඒ කිසිවක් මේ දක්වාම ක්‍රියාත්මක වූ බවට තොරතුරු නැත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීමේ වගකීම වත්මන් රජය විසින් පවරා ඇත්තේ රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනා වෙතය. එපමණක් නොව, දැනට යට ගසා ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු දේශපාලන ඝාතන ගණනාවක විමර්ශන කටයුතු නැවත ආරම්භ කොට අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ මූලික වගකීම් පවරා ඇත්තේ ද මේ නිලධාරීන් දෙදෙනාටය.

මෙවැනි තත්ත්වයක් තුළ ඝාතන විමර්ශනයන්හිදි සාක්ෂි වසන් කිරීම හා විභාග කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස් මහත්මාගේ සොයුරිය වන ජයකි ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ලබැඳියාවන් අතර ගැටුමක් නිතැතින්ම මතුවන බව පැහැදිලි කරුණකි.

එහෙයින් එවැන්නකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කරන වාර්තාවක් අපක්ෂපාතී සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට අපට කොහෙත්ම හැකියාවක් නැත. එහෙයින් අපි මෙම වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමු.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නාටකය

ඉහත කී වාර්තා දෙක තමන්ට යමකු විසින් තැපෑලෙන් එවූ බවත් වත්මන් ජනාධිපතිවරයා එම වාර්තා ජනගත නොකරන නිසා තමන් එම වාර්තා දෙක ජනගත කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්මා දින කිහිපයකට පෙර මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු විශාල ඝෝෂාවක් නඟා රංගනයක් ඉදිරිපත් කොට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් අද වීරයකු ලෙස පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් මහා වේදනාවකින් සහ කම්පනයකින් කතා කරන උදය ගම්මන්පිල මහත්මා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතට පත් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සම්පූර්ණ වාර්තාව ජනගත කරන ලෙස දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඔහු ඒ වෙනුවෙන් කිසිවිටෙක ඉදිරිපත් වී හඬ නැඟුවේ නැත. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට තිබියදීත් තම වගකීම් පැහැර හැරිය බවට චෝදනාවට ලක්කොට ඔවුන්ට එරෙහිව නිර්දේශ ඉදිරිපත් කොට තිබූ උසස් පොලිස් නිලධාරීන් (උදා. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැනි) එම ධුරවලින් ඉවත් කළ යුතු යැයි උදය ගම්මන්පිල මහත්මා කිසිවිටෙක ප්‍රකාශ නොකළ අතර ගෝඨාභය රාජපක්ෂ රජය සහ රනිල් වික්‍රමසිංහ රජය විසින් ඔවුන්ට උසස්වීම් ලබාදීමේදී උදය ගම්මන්පිල මහත්මා කරබාගෙන නිශ්ශබ්දව සිටියේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අඩංගු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සහ නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කිරීමට හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහත්මාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද සය පුද්ගල කොමිටියේ ද උදය ගම්මන්පිල මහත්මා සාමාජිකයකු විය. අප දන්නා තරමින් එම කොමිටි වාර්තාව කිසිදිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. එම කොමිටිය වාර්තාවක් සකස් කළේ ද එසේ නම් එය හිටපු ජනාධිපතිවරයාට භාර දුන්නේ ද යන්න මේ දක්වා ජනතාවට ප්‍රකාශ කර නැත. අද පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් පිළිබඳව කිඹුල් කඳුළු හෙළමින් සැඟවූ වාර්තා පිළිබඳව ඝෝෂාකාරි නාටක රඟන උදය ගම්මන්පිල මහත්මා එදා තමන් සාමාජිකයකු වූ මෙම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව හෝ ජනගත නොකළ එම කමිටු වාර්තාව පිළිබඳව හෝ වචනයක්වත් කතා නොකර නිහඬව සිටියේය.

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිට අවසන් පාර්ලිමේන්තුව දක්වාම පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකුව, මන්ත්‍රීවරයකුව සිටි උදය ගම්මන්පිල මහත්මා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ සහ රෝගාතුර වූ මෙරටේ සියලු ජාතීන්ට, සියලු ආගම්වලට අයත් අහිංසක දූ දරුවන් සහ මිනිසුන් වෙනුවෙන් එහි සත්‍යය සොයා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් මේ දක්වාම කිසිදු හඬක් නොනඟා නිශ්ශබ්දව සිට හිටි හැටියේම නින්දෙන් ඇහැරුණා සේ රඟන්නට පටන්ගෙන ඇත්තේ කුමක් අරමුණු කරගෙනදැයි මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳින් අවබෝධ කරගෙන තිබෙන බව අපට සැක නැත.

වත්මන් ජනාධිපතිවරයා ඇතුළු නව රජය විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ තවත් ම්ලේච්ඡ දේශපාලන ඝාතන ගණනාවක විධිමත් පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කොට තිබීම නිසා භීතියට පත්ව ඇති අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා එම පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල මහත්මා විසින් සිදු කරන්නේ ද යන සැකය අප තුළ මෙන්ම මේ රටේ බුද්ධිමත් පොදු මහජනතාව තුළ ද ඇති වෙන බව අපි දනිමු.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළා ඔවුන්ට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට තමන් සූදානම් යැයි ප්‍රෝඩාකාරි වීරකමක් පෙන්වා ළඟ එන මහ මැතිවරණයේදී ඡන්දදායකයන් රවටා ඡන්දය ලබාගැනීමේ මහා වංචාකාරි උත්සාහයක උදය ගම්මන්පිල මහත්මා නියැළෙන බව ඉතාම පැහැදිලිය. එහෙත් මේ රටේ ජනතාව ගම්මන්පිල මහත්මා සිතනවාට වඩා බොහෝ බුද්ධිමත් බව අපි විශ්වාස කරමු. උදය ගම්මන්පිල මහත්මා වැන්නන්ගේ මෙම නාටකයේ යටි අරමුණ කුමක්දැයි අවබෝධ කරගැනීමට ඔවුන් සමත් බව අපි විශ්වාස කරමු.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා විසින් යටි අරමුණු සහිතව පත් කළා යැයි අපට හැඟී යන පිළිගත නොහැකි කමිටු මගින් ඉදිරිපත් කර ඇති වාර්තා මගින් සහ උදය ගම්මන්පිල මහත්මා වැන්නවුන්ගේ නිරර්ථක රංගනයන් ඔස්සේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ පසුපස තිබෙන කුමන්ත්‍රණයේ සත්‍යය සොයාගැනීමට හෝ එම සැබෑ අපරාධකරුවන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පමුණුවාලීමට හෝ එමගින් වින්දිතයන් හට යුක්තිය ඉටු කිරීමට හෝ කෙසේවත් නොහැකි බව අපගේ දැඩි විශ්වාසයයි.

  1. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා ජනාධිපති ලෙස දිවුරුම් දී තුන් දිනකින් එවකට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මූලික විමර්ශන භාරව කටයුතු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහත්මාට ස්ථාන මාරුවක් ලබාදී පසුව එම විමර්ශන කටයුතුවල නියැළී සිටි විමර්ශන නිලධාරීන් 20කට අධික පිරිසකට ද ස්ථාන මාරු ලබාදීමෙන් ඇනහිටි විමර්ශන, අපක්ෂපාතීව, ස්වාධීනව විනිවිද පෙනෙනාකාරයෙන් ඉදිරියට ගෙන යෑම.
  2. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ ඇති ඇතැම් හිඩැස් සහ අඳුරු තැන් පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වීම.
  3. ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව එළිදැක්වීමෙන් කාලයකට පසුව එළිදරව් වූ තොරතුරු (උදා: දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමෙන් පිටතට පැමිණි සැක සහිත ලොරිය පිළිබඳව, චැනල් ෆෝ නාළිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන තුළ එළිදරව් වූ සංවේදී තොරතුරු ආදිය) පිළිබඳව විධිමත් අපක්ෂපාතී සහ විනිවිද බවින් යුතු විමර්ශන සිදු කිරීම.
  4. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම. මේ මහා ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස ඇත්තේ දේශපාලන බලය

ලබාගැනීමේ තිරිසන් කුමන්ත්‍රණයක් බව අප මෙන්ම මේ රටේ

යුක්තිගරුක සහ සාධාරණ අතිශය බහුතරයක් ජනතාව ද විශ්වාස කරන බව පැහැදිලි කරුණකි. මේ මහා අපරාධකරුවන් හෙළිදරව් කරගෙන ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීම හුදෙක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමක් පමණක් නොවේ.

මේ රටේ කාලයක සිට ක්‍රියාත්මක වන කුරිරු ඝාතන දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්කොට අප ආදරණීය මව්බිම තුළ විනාශ කොට ඇති නීතියේ ආධිපත්‍යය යළිත් ස්ථාපිත වනු දැකීම අපගේ අපේක්ෂාවයි.

එහෙයින් ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන් ඝාතන සහ 2008-2009 අතර කාලය තුළ ද්‍රවිඩ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම මෙන්ම කීත් නොයාර් සහ එක්නැලිගොඩ පැහැරගෙන ගොස් වධ හිංසා කිරීම සහ අතුරුදහන් කිරීම, උතුර – නැඟෙනහිර යුද්ධයේදී අතුරුදන් වී මේ වනතුරු කිසිදු තොරතුරක් නොමැති පුද්ගලයන් පිළිබඳ සිද්ධීන් වැනි මේ රටේ සිදුවූ දේශපාලන ඝාතන, පැහැරගෙන යෑම් සහ අතුරුදහන් කිරීම් ආදී අපරාධ පිළිබඳව විධිමත් සහ අපක්ෂපාතී විමර්ශන සිදුකොට එම සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

බලය ලබාගැනීමට සහ රැකගැනීමට මිනිස් ඝාතන සිදුකිරීමේ ම්ලේච්ඡ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමෙන් නීතියේ ආධිපත්‍යය රජයන රටක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මේ දුෂ්කර ව්‍යායාමය සාර්ථක වූවොත් පමණක්ය යන්න අපගේ විශ්වාසයයි.

මෙම ම්ලේච්ඡ ඝාතන පිළිබඳ ස්වාධීන අපක්ෂපාතී සහ විනිවිද බවින් යුතු විමර්ශන ඇනහිටියේ ද ඒවාට බාධා සිදුවූයේ ද දේශපාලනඥයන් සහ ඔවුන්ගේ අතකොළු බවට පත්වූ නිලධාරීන්ගේ ඇඟිලි ගැසීම් සහ මැදිමත්වීම් නිසා බව දැන් මුළු රටම දන්නා කරුණකි.

එහෙයින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මෙන්ම අනෙකුත් දේශපාලන ඝාතන පිළිබඳ විමර්ශන සිදුකිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අදාළ ආයතනයන්ට භාරදී තමන්ගේ වගකීම පමණක් ඉටුකරන්නැයි අපි සියලු දේශපාලකයන්ගෙන් සහ ඔවුන්ගේ සහචර නිලධාරීන්ගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *