Latestදේශීය

“ෆ්ලෙමින් අරමුදල” සඳහා අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය අවම කිරීමේ වැඩසටහන් (Antimicrobial Resistance Prevention Activities) තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගියදා (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේ දී ෆ්ලෙමින් අරමුදල අදියර II සදහා වූ ගිවිසුම (එක්සත් රාජධානිය – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය) සදහා අත්සන් තබන ලදි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද, පරිසර, වනජීවි, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා ද, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ද, අත්සන් කරනු ලැබූ අතර, බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා විසින් අත්සන් තබන ලදි.
ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය ප්‍රථමයෙන්ම ලොවට හඳුන්වා දුන් විද්‍යාඥ අලෙක්සැන්ඩර් ෆ්ලෙමින් අනුස්මරණය කිරිම සඳහා එක්සත් රාජධානිය විසින් ජාත්‍යන්තරව ප්‍රතික්ෂුද්‍රජීවී විරෝධය අවම කිරිම සඳහා ෆ්ලෙමින් අරමුදල පිහිටුවා ඇත. එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන ෆ්ලෙමින් අරමුදල් ප්‍රදාන වැඩසටහන මගින් රටවල් මට්ටමෙන් කරනු ලබන දේශීය ප්‍රදාන, කලාපීය ප්‍රදාන සහ සහයෝගිතා ශිෂ්‍යත්ව ප්‍රදාන යෝජනා ක්‍රම රාශියක් හරහා ආවේක්ෂණ පද්ධතිය බලගැන්වීම උදෙසා අරමුදල් ආයෝජනය කරනු ලබන අතර, ෆ්ලෙමින් අරමුදල කළමණාකරණය සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර බහු ආංශික සංවර්ධන විශේෂඥ දැනුමක් සහිත ලෝක සමාගමක් වන ‌මොට් මැක්ඩොනල්ඩ් සමාගම පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව තුළ අදාළ අරමුදල සම්බන්ධ ක්‍රියාකාරකම් ලෝක‌ සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් අදාළ අනෙකුත් අමාත්‍යාංශ ඒකාබද්ධව විනිවිදභාවයෙන් යුතුව සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට පරිසර, වනජීවි, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාරිසරික ප්‍රතිපත්ති හා සැළසුම්) පද්මා අබේකෝන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ප්‍රධාන නීති නිලධාරී රියාසා අහමඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය පී.එල් අතපත්තු, අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල, ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබද විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය මාලිකා කරුණාරත්න යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරීහු සහභාගී වූහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *